Pages

Tuesday, April 30, 2019

මලකඩ

ගිනිපිඹින මද්දහන් අවුවේ කැරලි ගහපු දුවිලි වලාවක් වෛයිවර්ණ පෝස්ටර් බිත්තිය ඉම්බා
එක එක ජාතියේ සර්ලා ශිල්ප විකුණන තරගයට දාපු පෝස්ටර් වල වැදුණු දුවිලි හුලග එගොඩ යන්න බැරැව නතර වුණා......
මේ පෝස්ටර් ගොන්නේ වැඩි පදාසයක් උරුම වෙලා තිව්නේ නාඹර ගැටිස්සියෝ, ඉලන්දාරි කිහිප දෙනෙක්ගේ මුණු එක්ක තිබ්බ "පෙම් වැස්ස" පෝස්ටරයට...........
ලග එන ප්‍රේමවන්තයන්ගේ දිනය සමරන්න පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙක් අලවා තිබු එම පෝස්ටරය නගරයේ බෝක්කු කුණු බක්කි පවා අත්පත් කරගෙන තිබ්බා......
******************************
සිද්ධාර්ථ තෙල් සහ තවත් නොදන්නා බේත් තෙල් කිහිපයකම සැර එකතු විමෙන් හැමුයේ අමුතුම කුයිලකි.
එය සුපුන්ට හුරුය.
ඉදා.........
බත් වල අඩුවට පාත්තරා කොකු හැන්දක් රංජී පිගානට වැටුණා.
රංජීන්ගේ හිස මත්තේ අර කුයිල කැරකිලා තුනී වෙලා ගියා.
අඹ ලෑලි මේසේ උඩ තිබ්බ කුප්පි ලාම්පුව බැරි මරගාතේ අදුර යවන්න උත්සහ ගත්තා.

මාටින් පොල් ගහකින් පාත් වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා.
මේ ගෙදර කළුවර එක්ක පටන් ගත්තු ජරිබිරි සද්ද නැතිවුණා විතරයි.
අනෙත් හැමදේම ඒ වාගෙමයි.
සොයිදා තාමත් වී මෝලට යනවා.
අර සැර කුයිල සොයිදාගාවට ආවේ එයින් පස්සේ.
ගෙදර උන්නු රංජනී රංජීත් අවුරුදකින් වැඩිමල්.
රේටි බැහපු රංජනීගේ ඇගේ දැවටි තිබ්බේ චීත්ත ගවුමක්.
රංජනී හයේ ,
රංජීත් පහේ
දෙන්නම යන්නේ ලග තිබ්බ රජයේ පාසලට.
රංජනී නම් ඔය ගමන යන්නේ නොගිහින් බැරිකමට.
හඩ්ඩි, මුසලී කපුටි, වැද්දී, වාගේ නම් මිසක් රංජනී කියන නම කියවුණේ නම් අඩගහද්දී විතරයි.
ඒත් රංජීත් ඉගෙන ගන්න දස්සය.
ඉස්කෝලේ ගුරුවරු පවා බලාන උන්නේ මෙදාපාර ශිෂ්‍යත්තේ රංජීත් පාස් වෙයි කියලා.
*******************************
රංජනීගේ මතක

මේවා කාට කියන්ද මං වත් දන්නේ නෑ.
එත් ඉතිං හිතේ ගුලි කරාන ඉන්නවාට වඩා කළුවටවත් කියා දාන්න ඕන.
අපේ ගෙදර උන්නේ මල්ලීයි මායි.
තාත්තා ගහෙන් වැටිලා මැරුණා.
මල්ලී විභාගේ පාස් වෙලා සෙන්ටල් එකට ගියාට පස්සේ අපිට තවත් කරදර වැඩි වුණා .
ඒ හින්දා මාත් අම්මත් එක්ක මෝලේ වැඩට යන්න ආවා.
මුදලාලි හිණා වුණා මේ ඇට්ටිබි කෙල්ලට මොන වැඩද කියලා...
වී තුනි කරන්න,
මළු ගෙනියන්න ඒවා තමා මං කරපු වැඩ.
මටත් රුපියල් පනහක් දුන්නා.
මෝලේ ඔක්කොම වැඩ කරන්න හය දෙනෙක් හිටියා.
ගැණු හතරයි පිරිමි දෙකයි.
මෝලේ වැඩට යද්දී වී ගෝනි අස්සේ මාව හම්බ වුණාම මුදලාලි මගේ බඩ මිරිකනවා.......
රිදෙන්නම...
ඉන් පස්සේ බක බක ගාලා හිනාවෙනවා.
එක දවසක්
මුදලාලි මාව කන්තෝරු කාමරේ අතු ගාන්න කියලා ගෙන්න ගත්තා..
අතු ගාද්දි අතින් ඇදලා ඔඩොක්කුවට ගත්තා.
එදා නම් මං දැනගෙන හිටියේ නෑ මුදලාලි මගේ ගවුම අස්සේ කලබලෙන් මොනවද හෙව්වේ කියලා.

"තෝ මේවා කාටවත් කියනවා එහෙම නෙමෙයි "
කියලා මුදලාලි මාව යැව්වේ රුපියල් විස්සකුත් දීලා.

එදා වී එදා වී වේලන දවසක් කට්ටියම වෙළුම් කමතේ වී වනමින් හිටියේ.
මුදලාලි වී ගබඩාවේ වී ගෝනියක් උඩට මාව දාලා කටපියාගෙන හිටු කියලා කිව්වා..
වෙනදට ගවුම අතරින් හොයපු ඒවා ඒදා මුදලාලි එලිපිටම හම්බ වුණා.
වී ගෝනියක් උඩ කෙල්ලෙක් නොවිම මං ගෑණියෙක් වෙන හැටි බලාන හිටියේ අට්ටි ගහපු වී ගෝනි විතරය......

"තෝ මෙව්වා ආයේ කාටවත් කියලා තිබ්බොත් තෝවයි මහ එකීවයි දෙන්නවම පන්නලා දානවා"

මුදලාලි තඩි බඩ අත ගගා මට කිව්වේ අැගිල්ලකුත් උළුක් කරලා
******************************

රංජීත් විශ්ව විද්‍යාලයට අැතුලත් විමෙන් පසු ලොකු මෝලට වී දාන්නා සේ මුදල් යැවිය යුතු විම සොයිදාට මෙන්ම රංජනීටත් මතු වු අහම්බ හෙණයක් විය.
උදේ උයාගත් බතට කැලෑ කොලයකින් මාළුව සරිකරගත් ඔවුනට වෙනත් අරමුණක් නොවිය.
තිබු එකම අරමුණ රංජීත්ගේ වුවමනාවන් උදෙසා මුදල් සෙවිම පමණී.

විශ්ව විද්‍යාලයේ නිවාඩුවටත් නොපැමිණෙන රංජීත් එක් රාත්‍රියක පැමිණියේ ඔහුගේ ඇදුම් බෑගයත් සමඟය.
එදින රාත්‍රියේ රූපවාහිනි පුවත් බැලුවේ නම් කඩාකප්පල්කාරී ලෙස අමානුෂික නවක වදය දුන් සිසුන් කිහිප දෙනෙකු විශ්ව විද්‍යාලයෙන් නෙරපු බව සොයිදාට හෝ රංජනීට දැන ගත හැකිය.
එහෙත් ඒ දෙදෙනාම රූපවාහිනිය දැක තිබුණේ දින කිහිපයක් පමණී.

සතියකට පමණ පසු ප්‍රධාන නගරයක එක් කුඩා පෞද්ගලික පංති ආයතනයක උසස් පෙළ සිංහල විෂය සදහා පංති ඇරඹු නවක තරුණයෙකි.
කෙස්ස මෙන්ම රැවුල ද වවා ගෙන සිටි මේ තුරුණු දේශකයා තදින් සාම්ප්‍රදාය ප්‍රශ්න කලේය.
අතපය දිගහැර කියු කියුම් නාඹර කෙළි කොල්ලන්ට ප්‍රිය විය.
ඉතා ඉක්මනින් ඔහුට ඒම ආයතනයේ වඩා විශාල දේශණ ශාලාවක් ලබා දිමට ආයතනයට සිදුවිය.

රංජනීගේ එල්ලී මිය යාම ගැන ගමේ විවිධ කතා කියවුණි.
ඇය මේ විනාශය කර ගැනීමට සතියකට පෙර අමු අන්නාසි ගැට උලා කනවා සොයිදා දුටුවාය.
එමෙන්ම උදැසන කක්කුස්සිය අසලට වී පණ යනතෙක් වමනය කරනවාද ඇය දුටුවාය.
එහෙත් සොයිදා කුමක් නම් කරන්නද?

අම්මේ............
මට සල්ලි ටිකක් හොයා ගන්න ඕන
එකයි අද මං තකහනියේම ආවේ..

"අනේ දෙය්යෝ
මගේ ගාව කොයින්දැ සල්ලි
රංජනීයා මැරුණායින් පස්සේ,
මාත් ඔය ගෙදරකට ගිහින් වල කෑල්ලක් හොදලා දෙන කෑමක් කනවා මිසක් මෝලේ වැඩට ගියෙත් නෑ.......
ගියත් මට වැඩ දෙන එක්කුත් නෑ.."

"නෑ නෑ......
අම්මා මට මේ ඉඩම ලියලා දෙන්න මං බැංකු ණයක් ගන්නම්....."

උපතේ සිට සොයිදා ජීවත් වු බිම්කඩේ උරුමය අහිමි වි යාමට අඩිතාලම වැටුණේ එලෙසිනි.
සොයිදා නගරයට එක් කරගෙන ගොස් ඉඩමේ හිමිකාරත්වය ලියා ගත් පසු රංජීත් යන්නට ගියේය
එදින මල්කාන්ති නොසිටින්නට සොයිදාට නගරයේ සිට ගමට එමට සිදුවන්නේ පයිනි.
නගරයට ගොස් ආපසු ගමට යමින් සිටි මල්කාන්ති අැයගේ ස්කුටියෙන් සොයිදාව ගමට අැරලුවාය.

ඉන් මසකට පමණ පසු සොයිදාගේ පැල්පතට එඹුණු දිගු රැවුල්කාරයෙක් එම ඉඩම තමන් මිල දී ගත් බවත් ඉඩමෙන් ඉවත් විය යුතු බවත් දැන්විය.
එතැන් සිට සොයිදාගේ නව නිවස්නය වුයේ මිනි පිට්ටනියේ වු ශාලාවයි.
ඇය මිය ගිය පසු ගමේ තරුණ සමිතිය විසින් භුමදාන කටයුතු සිදු කල අතර ගුණ කතනයක් තබා නෑයෙක්වත් අවමංගල්‍යය සදහා නොසිටියේය.

එ් ප්‍රකට ගුවන් විදුලි නාලිකාවේ හිමිකාරයා විදේශිකයෙකි.
වැඩ සටහන් අධ්‍යක්ෂ අචාර්ය වරයෙකි.

"මිස්ටර් රාන්ජීත් අපි ඔයා පංති ඉහලට ගෙනවා,
එකේ ප්‍රචාරණ කටයුතු අපි බලා ගන්නම්,
ටියුට් වගේම අනෙත් හැමදේම අපි කරලා දෙනවා.....
ඔයාට තියෙන්නේ මේ ආගමට, සංස්කෘතියේ අඩුපාඩු ලමයින්ට දාන එක."

"හරි.......
මිස්ටර් ..
අපි වැඩේ කරමු

සකසන ලද වෙළෙන්දා වචන ඇමුණුම.

(කාල්පනික ලියවිල්ලකි)

Tuesday, April 16, 2019

මියුරියල්

හාන්සි පුටුවේ දිගැදුණ ජයම්පති සිය ජන්ම භුමිය සිසාරා උකුසු බැල්ලමක් හෙළුයේය.
නඩත්තුව නිසියාකාරව සිදු නොවන වත්තේ අනාරාධිත ගස් වැල් ජයටම වැඩි තිබිණි.
ගුණපාලට ආණ්ඩු මාට්ටු කර නොහෙන තරමටම ඒ ගස් වැල් දඩබ්බරද,
නැතහොත් ඔහුගේ සවිබල කාලය විසින් වියැකි ගොසින්ද?
ජයම්පතිලාගේ මහ ගෙදරට ඉදිරිපස ඉඩම කට්ටි වි කුඩා ගම්මානයකට පෙරළි ඇත.
එහි පාරට මුහුණ ලා ඇති බිම් කොටස් වල, චයිනීස් කෑමහල්, ජංගම දුරකතන අළුත්වැඩියා කරන තැන්, ජුස් බාර් එකක් වැනි ව්‍යාපාරික ස්ථාන පිහිටා ඇති බව ඊයේ එනවිටම ජයම්පතිගේ නෙතු ගැටුණී.
හරියටම වසර දහයකට පසු මෙරටට පැමිණි ජයම්පතිට සියල්ල උඩුයටිකුරුවී ඇති බව සිතිම පුදුමයක්ද නොවේ.

"චුටි මහත්මයා , උදේ කෑම ..........."
ගුණපාලගේ හඩ තවමත් නොනැසි ලෙංගතු බවින් පිරිපුන්ය .
ගුණපාලට ඉතා මැනවින් ඉවිමේ පිසිමේ කටයුතු කල හැකිය.
එකල ජයම්පතිගේ පංති සඟයෝ නිවාඩු කාලයේදී ජයම්පතිගෙ නිවසටම පැමිණිමට එයද හේතුවක් විය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව අගනුවර විශාල පාසලකට ඇතුලත් වු ජයම්පති එම පාසලේ නේවාසික ශිෂ්‍යයෙක් විය.
මව නොමැති ජයම්පතිට නේවාසිකාගාරය නිවසට වඩා හිතට ඇල්ලීම අරුමයක් නොවිය.
ඔහු එතැන් සිට සිය නිවසට පැමිණියේ පාසල් නිවාඩුව සදහා පමණි.
ඒ පැමිණිමේදී පංති සඟයින් කිහිප දෙනෙක්ද ඔහු සමඟ පැමිණි අතර දින ගණනාවක් ජයම්පතිගේ නිවසේ ගතකොට යාම සිරිතක් විය.
"චුටි මහත්තයා ඕං මං කංකු තෙල් දාලා ගත්තා,
මහත්තයා ඉස්සර හරිම කැමැතිනේ...

උදේ ආහාරයෙන් අනතුරුව ජයම්පති ගමේ අවුරුදු උළෙල සදහා යාමට පිටත් විය.
ජයම්පතිගේ පැමිණිමේ ආරංචිය සමඟම උත්සව සංවිධායක තරුණ නඩය ජයම්පතට ඒ සදහා ඇරුයුම් කර තිබිණි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාවක් හැදැරු ජයම්පති එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරේ ඔහුගේ උසස් සාමාර්ථය නිසාය.
ඔහු විසින් ඉදිරිපත් කල "විකල්ප බලශක්ති" පර්යේෂණය හමස් පෙට්ටියට විසි වුණ ද ඒ සබැඳිව ඔහු ලියු ලිපි හරහා විදේශ රටක් ජයම්පතිට එරට බලශක්ති පර්යේෂණායතනයට ඇරුයුම් කලේය.
එහෙත් තම රටට ඉටු කල යුතු සේවය වෙනත් රටකට ලබා දීයු යුත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය සිත තුල හොල්මන් කල බැවින් ජයම්පති ඒ පිළිබදව උනන්දුවක් දැක්වුයේ නැත.
එහෙත් දිගින් දිගටම ජයම්පති මහතාට විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදුවුයේ ඔහු විසින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල මතවාදය නිසා විය යුතුය.
අවසන එය සිදුවිය.
ජයම්පති මහතා මෙරට අතැර විදෙස්ගතවිය.
එරට ඔහුව සාදරයෙන් පිළිගත්තේය.
ජයම්පති මහතාගේ දැනුමින් එරට පාලකයෝ යහමින් ප්‍රයොජන ගත්තෝය.

ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ඇසෙන්නේ ජයම්පති කුඩා කල ඇසු අවුරුදු ගීතමය.
එහෙත් එකෙල මෙකෙල වන තරුණ තරුණියන්ගේ ඇදුම් ආයිත්තම් නම් වෙනස්ය.

⁣"මෙන්න අපි දැන් අාරම්භ කරන්නේ බොහොම විනෝදමත් තරඟයක්,
ඔව් කුක්කු බීමේ තරගය.....
හහ් හා........
නෑ...... නෑ ..
මේ තරගය තියෙන්නේ කෝඩුකාර නංගීලාටයි, විසේකාර මල්ලීලාටයි...
තරගයට සෑහෙන ඉල්ලුමක් තියෙන හින්දා සංවිධායක මණ්ඩලය තීරණය කරා මුලින්ම නම දුන් ජෝඩු දහය ..
මේ තරගයට ගන්න......."

"ඒ වගේම මේ වන කොට අපේ සැඟවුණු අමුත්තා ⁣අත් කොට කමිසයක් අැදගෙන පිට්ටනියේ එහා මෙහා යනවා.......
ඕන කෙනෙක්ට පුළුවන් ඔහුව හඳුනා ගැනීමේ තරගයට ඇතුල් වෙන්න.....
ඒ සදහා අපේ කාර්යාලයට රුපියල් පනහක් ගෙවලා කුපන් එකක් ගන්න,"

ජයම්පති මහත්තයා පිට්ටනියේ එහා මෙහා ගියේ අවුරුදු තරග දකිමින්.....
එක තැනක පස්සේ හයි කල බැලුම් පිපිරවිමේ තරගයක් දිහා අත්පොලසන් දෙමින් හුරේ දාන පොදියක්.......

තමන්ගේ පිටට තට්ටුවක් දානවා දැනිච්ච ජයම්පති මහත්තයා හැරුණා.....
"මහත්තයා නේද සැඟවුණු අමුත්තා"
ජයම්පති මහත්තයාට විදුලි සැරයක් වැදුණේ ඒ ගව නෙත් දෙක දැකලා......
ඒ.......හ්....
********************************
ඒ ජයම්පති උසස් පෙල පංතියේ ඉගැනුම ලබන වකවානුවයි.
අවුරුදු නිවාඩුවට පැමිණි මිතුරු කැල ඉක්මනින් යාමත් සමඟම ජයම්පතිට දැණුනේ පාළුවකි.
නිවසේ ගුණපාල පමණි.
පියාණන් ව්‍යාපාරික කටයුතු සදහා බැහැර ගොස්ය.
මිදුලේ රවුමක් ගැසු ජයම්පති හෙමිහිට ⁣සිය රබර් වත්ත දෙසට ගියේ අරමුණක් රහිතවය.
රබර් වත්තේ කැපුම්කාරයන් සහ කැපුම්කාරියන් යුහුසුළුව කිරි එකතු කරමින් , නව කැපුම් යොදමින් සිටියි.
අංක 07 කට්ටියට ඔබින් ඇත්තේ කජුලන්දයි.
එහි කජු , කීන, දං, ගොරක යහමින් තිබේ.
ගම පැත්තෙන් එන කොළු කුරුට්ටන්ට මුරකරුගෙන් ලෙහෙසියෙන් බේරි ඇතුලට පැමිණිය නොහැක.
පෙතං කජු ගසේ අතු සරබර ගාන්නේ ඇයි?
උඩ බලමින් පැමිණි ජයම්පති දුටුවේ
කජු ගස උඩ සිටින යුවතියකි.
නිල් පෑ ගවොමක් ඇද සිටි ඈ සිය කාර්යටම සිත යොමා සිටි බැවින් ජයම්පතිගේ ආගමනය නොදුටුවාය.
ගස මුලට පැමිණි ජයම්පති ඉහල බැලුවේය.
ජයම්පතිගේ ඇඟපුරා කිතියක් දිවෙන්නට විය.

"එයි.........
කවුද මේ හොරා....
අපේ කජු කඩන්නේ.......
බහිනවා ......"

ජයම්පති එළියට නොදැමු සිනාහවකින් මුරගෑය.

යුවතිය වහ වහා බිමට බසින්නී.
කලබලය නිසාම බිමට ආසන්න අත්තකදී පය පැකිලි ඇද වැටිණි.....
කජුකොල ඇතිරිල්ල මත වැටි ඇයගේ අකීකරු ගවොම රතට හුරැ සුදු පෑ දඟයුග නිරාවරණය කරමින් ඉහලය.
අනපේක්ෂිත ආගන්තුකයාගේ පැමිණිමත් සිදුවු අකරතැබ්බය නිසාත් යුවතීය ශෛලමය ප්‍රතිමාවක්ව ගොසිනි.
යුවතිය අසල දණ ගසා ගත් ජයම්පති ,

"එයි....එයි..... මොකද වුණේ, විමසුවේ නැඟි සිනහව එලියට අදිමිනි.

යුවතීය සිය ගව නෙත් විවර කරේ අතිශය භීතියෙනි.......
"අනේ මහත්තයා මට යන්න දෙන්න,
දවල්ට උයන්න කජු නාඹර ටිකක් කඩා ගන්න ආවේ....."

ඇයගේ දැස කොනකින් කඳුළු බිංදුවක් පනින්නට ආසන්නය.
"හරි , හරි.......දැන් ඉතිං නැගිටිනවා..."
සරාස් ගා නැගිට්ට යුවතිය ගවොමේ පසෙක එල්ලාගෙන සිටි කුඩා මල්ලක් ජයම්පතිට පෑවාය.
"තියාගන්නවා .......ඕක.....
මොකක්ද තමුන්ගේ නම......

"මියුරියල්......
අය්යට මතක නැතුව ඇති අය්යා ශිෂ්‍යත්වේ පාස් වෙලා යන උත්සවේ මල්මාලේ දැම්මේ මංනේ......."

ජයම්පතිට ඒ හුරුබුහුටි දැරිය සැනකින් සිහියට ආවේය.

"අපේ ගෙවල් මේ ලග.....
අද අපේ ගෙදට්ට නෑයෝ එනවා..
එකයි කජු නාඹර ටිකක් කඩාගෙන යන්න ආවේ...."

"හොඳයිනේ ඔහොමත් කෙල්ලො ගස් යනවාද?
මං උඩ බලපු වේලාවේ මගෙත් ඇස් නිලංකාර වුණානේ......."

මියුරියල්ගේ කොපුල විලියෙන් රත් පෑ විනි.
***************
"ආ..........
මේ දුවගේ අම්මා මියුරිල්ද?"

"ඔව් අංකල් අම්මාව අදුරනවාද?....
අම්මා නම් ආවේ නෑ........
අම්මා අදත් ඩියුටිනේ....
අවුරුදු නිසා ස්පෙෂල් ඩියුටි......
හදිසි අනතුරු වැඩියිනේ.......
මායි මල්ලී , තාත්තයි උත්සවේට ආවා.
ඉතිං අංකල් ⁣,
අංකල් නේද සැඟවුණු අමුත්තා"

ඇගේ කට කතුරකි.
කජුගහ මුලදී ජයම්පති නැගු සිනහවම යලි ජයම්පතිගේ මුවට පැමිණියේ නිතැතිනි.








Monday, April 8, 2019

එඬරු නැට්ට

සුමනාවතී දිස් දිස් ගා සිය පපුවට ගසා ගත්තේ හොටු මුසු කදුළු වගුරවමිනි.
වනා ගත් කොණ්ඩය නිසා ඈ පෙනුනේ උන්මාදයෙන් පෙලෙන්නියක් ලෙසිනි.

තෝ.......
තෝ අපිව කෑවා..
පරට්ට බැල්ලී,
අපි කොහොමද යකෝ දැන් පාරක බැහැලා යන්නේ....

පෙරේරා කවිච්චිය මත වාඩිවි සිය උපැස් යුවල පිරිසිදු කරන්නේ පසෙක වැටි හඬමින් සිටින රැවනී දෙස රවමිනි.

රැවනී , පෙරේරා සහ සුමනාවතීගේ එකම දියණියයි.
එකම දියණිය වුවෙන් නොමද ඉසුරෙන් යුතුව හැදුණු ඈ තවමත් දාහත් ඇවිරිදි වියේ පසු වෙන්නීය.
සුමනාවතී සමුපකාර මැනේජර්වරියකි.
පෙරේරා තැපැල්කාර්යාලයක ස්ථානාධිපතිවරයෙකි.
රුවනී කුඩා කල සිටම අධ්‍යාපනය සදහා යොමු කරන ලද්දේ ඇයගේ මැණියන් විසිනි.
ගමේ පාසලට නොයවා නගරයේ වු ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලට ඇය ඇතුලත් කරේ සුමනාවතීගේ "ඇගේ" හය්යෙනි.
ඒ සදහා ඈ කල කැපකිරීම් සහ වෙහෙස පෙරේරාවත් නොදනී.
ඔහු දන්නේ සුමනාවතී ඔවුන්ගේ සමුහ ගිණුමෙන් රුපියල් ලක්ෂයක් ගත් බව පමණි.
පාසලට ඇතුල් කිරීමෙන් පසුවද එකේ පංතියේ සිටම අකුරු පංතියකටත් පසුව ශිෂ්‍යත්ව පංතියකටත් ඇතුල් කල රුවනී නිවසට ආවේ හැන්දැජාමයේය.
ගෙදර ආ රුවනීට ඉස්පාසුවක් ලැබුණා නම් ඒ නා ගැනීමට පමණි.
නාන කාමරයෙන් එළියට එන රුවනී සුමනාවතී විසින් කෑම කාමරයට කැදවා ගෙන ගොස්,
ඇගේ යෙහෙළියන් විසින් නිර්දේශ කරන ලද නා නා ප්‍රශ්න පත්‍ර කට්ටල සදහා පිළිතුරු ලිවිමට යොමු කරවයි.
දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත් වුවාය.
එහෙත් ඒ යන්තමිනි.
දෙමාපියන් රජයේ රැකියාධාරින් නිසා රුවනීට ශිෂ්‍යාධාර නැත. ඇයගේ ලකුණු ප්‍රමාණවත් වුයේ එතෙක් ඈ ඉගෙන ගත් පාසලට ප්‍රවේශ විම සදහා පමණි.

පුරුදු පරිදිම රුවනී පාසල් ගමන සිදු කරන ලද්දේ පාසල් වෑන් රථයෙනි.
ඇයගේ ලෝකය , ඇගේ පාසල, පාසල් වෑන් රථය සහ නිවසය.
පාසල බාලිකාවකි.
රුවනී පාසලේ වාර විභාගයන් සඳහා සෑම විෂයක් සදහාම ලකුණු හැට හැත්තෑවක් ලබා ගත්තද ඒ සුමනාවතීට ප්‍රමාණවත් ⁣වුයේ නැත.
A නවයක් දා ගැනීමට නම් අසුවක් අනුවක් වාර විභාග සදහා ලකුණු ලබා ගත යුතු බව ඇයගේ අදහස විය .
ඒ අනුව ගමේ පාසලේ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීම් කල රත්නදාස මහතාට පෞද්ගලික ඉගෙන්විම සදහා කතා කර ගත්තේ බලවත් පෙරැත්තයකිනි.
රත්නදාස මහතා හවසට ගමේ පාසලේ ලමයින් කිහිප දෙනාවම සිය නිවසට කැදවාගෙන ඒ අයගේ පාඩම් වැඩ වලට උපකාරී වුවේය.
රුවනී ද ඒ කාණ්ඩයට එක් කර ගැනීමට රත්නදාස මහතා යෝජනා කලේය.
ඒ කාලයේ රුවනී ඉතා සතුටෙන් කාලය ගත කල අතර රාත්‍රීයට සුමනාවතීට ඇයගේ ගිරා කතා වලට සවන්දීමට සිදුවිය.
දිනක් තෑපැල්හලට පැමිණි රත්නදාස මහතාගේ අසල්වැසි නිවසේ කාන්තාවක් සුමනාවතීට හයිඩ්‍රජන් බෝම්බයක් දී ගියාය.
ඒ පිපිරුනේ එදින සවසය.
එහෙත් එහි වැඩි හඩක් නොවිය.

"රුවනී කවුද බණ්ඩාර කියන්නේ,"

"බණ්ඩාර කියන්නේ අපේ හවස පංතියට එන ලමෙක්......
හරි හොදයි.....
රත්නදාස සර්ගේ හොදම ගෝලයා..."

"හා එහෙමද, උෟත් එක්ක තියෙන ඇයි හොදය්ය මොකක්ද ?"

"හෑ..... මං......
⁣එහෙම මොකුත් නෑ.......
අපි එකට හවස පංතියේ වැඩ කරනවා.
අනෙක සර් පංතිය ඉවර වෙනකම් ඉන්නවානේ,
පංතිය ඇරුණාම මාව එක්කගෙන එන්නේ තාත්තානේ....."

හරි අපිට ඔය පංතිය හරි යන්නේ නැහැ.
මං වෙන සර් කෙනෙක් හොයා ගන්නම්.

ඉනික්බිතිව සුමනාවතීගේ යෙහෙළියක් විසින් හදුන්වාදෙන ලද සර්,
රුවනීට පාඩම් කියා දීම සදහා සතියට දින තුනක් හවසට පැමිණිම සිදුවිය.
මුල් කාලයේ පංතිය පැවැත්වෙන අතරතුර පෙරේරා හෝ සුමනාවතී අයිනක හාන්සි පුටුවක වාඩි වි පරණ ඉරිදා පත්තරය යලි කියවිම සිරිතක් වුවද කාල⁣යාගේ ඇවැමෙන් එය අපෝ විය.

එදා සුමනාවතී එන විට සර් බයිකලය පණ ගන්වාගෙන, බයිසිකලයට සැර දමමින් සිටියේය.
සුමනාවතී දකින හුචස් ගා නැවතුණ බයිසිකලය යලි කඩිනමින් පණ ගස්වා යන්නට පිටත් විය..
සුමනාවතීගේ ස්ත්‍රී ඉවට මෙය ඒ හැට ඇල්ලුවේ නැත.
රුවනී පාඩම් කාමරයේ නැත.
කෝ රුවනී .........
රුවනී ඇදුම හරි බරි ගසමින් ඇයගේ කාමරයෙන් එළියට ආවාය.

"රුවනී.........ඉඉඉඉ"

සුමනාවතීගේ දෙකකුල් පණ නැතිව ගියේය.
වහ වහා රුවනීගේ කාමරයට යාමට පණ නැති වුවද ඒ කකුල් උපකාරී විය.
ඇද අසල රුවනීගේ බෝනික්කා උඩුබැලි අතට වැටි සිටියි.
සුමනාවතීගේ විපරම්කාරි ඇස් කාමරය සිසාරා විහිද ගොස් ඇද ඇතිරිල්ල මත වු එක් කුඩා පැල්ලමක අස නතර වුයේ සිහින් ඉකියක්ද සමඟය.........

ඉනික්බිතිව රුවනීගේ දිගු කේශකලාපය සුමනාවතීගේ අත් අඩංගුවට පත්විය.

" කියාපිය පරට්ට බැල්ලී........
මොකක්ද වුණේ......"

ඒ අනුව පොඩි පොඩි සිදුවිම් වලින් ඇරඹි අද දින ඇද මත හුන් බෝනික්කා බිමට වැටිම දක්වා වු සියල්ල රුවනිගේ කදුළ සහ ඉකිය මුසු වු වදන් වලට පෙරලිනි.
................................................
" සුමනා දැන් මේකට කෑ ගහලා, අඩලා මේ දරුවට ගහලා වැඩක් නැහැ.
අපි පොලීසියට පැමිණිල්ලක් දාමු.
දාලා මේ කෙල්ලව ඒ හාදයටම බන්දලා දෙමු.."

සුමනාවතී සහ පෙරේරා පොලිස් පැමිණිලි අංශයට ගියේ ඒ අනුවය.

"ගැණු ළමයාගේ වයස"

තඩි බැරලයකට යුනිෆෝමයක් ඇන්දුවා වැනි පොලිස් කාන්තාව බෙලෙක් හඩකින් ඇහුවේ ඔලොක්කු හිනාවක් එක්ක..

"දා හතයි"

"එහ්..........
එහෙමද එහෙනම් ඉතිං වැඩක් නෑ....
මේකට අපිට මොනවත් කරන්න විදිහක් නෑ......"

"හෑ...දහඅ⁣ට වෙනකම් බාලවයස්කාරයෝ නෙමෙයිද?"

"ඔව් බාල වයස් තමා,
විවාහ වෙන්න බෑ.......
නමුත් ඉතිං.........
දන්නවානේ....
මෙතන බලාත්කාරකමක් වෙලා නෑ..
ඉතිං හොදම දේ වයස සම්පූර්ණ වුනාම බන්දලා දෙන්න."

සුමනාවතීට පොලිස් කාන්තාවගේ යුනිෆෝමයේ තිබු තරු පොලිසියේ වහලේ පෙනෙන්නට විය.
වහාම සර්ව සම්බන්ධ කර දුන් හිතවතියට කතා කොට සර්ගේ වාසබවන තියෙන තැන අසා දැන ගත් පෙරේරා මහතා ,
කුළී රථයකින් අදාල නිවස සොයා ගියේය.
නිවස පිහිටා තිබුණේ නව නිවාස ඉදිකල කට්ටි ඉඩම් ව්‍යාපෘතියකය.
හෝඩුවා අනුව කාමර දෙකක් ඉදිකර තිබු නිවසක් සහිත ඉඩමකට කුළි රථ රියදුරු වාහනය හැරවිය.
බට් අඹ ගහක යට ජංගීයක් පමණක් ඇද සිටි කෙසඟ දැරියක් වාහනය දැක හනික සාදා තිබු කාමරයට පලා ගියේය.
ඒ සැණින් දැරියගේ මුහුණුවර ඇති දැරිය මෙන්ම කෙට්ටු ගැහැණියක් කාමරයෙන් මතු වුවාය.
ඇය තව දරුවෙකු බලාපොරොත්තුවන බව ඇයගේ ඇදුම් විලාසිතාව මෙන්ම නෙරාගිය උදරයද කියා පැවේය.
ආයාසයෙන් සිනහවක් දල්වා ගත් ඈ....
"ඇයි මහත්මයා .........යි විමසුවාය.
"ආ ...........අප ......සර්ව මුණ ගැහෙන්න.."
"එයා දැන් පංතියක ." ඇය කිවේ නගරයේ ප්‍රකට ආයතනයක නමකි.
පෙරේරා මහතාගේ උගුරේ විශාල ගුලියක් සිරුවෙන්නට විය.
ගැහැණියගේ ඇදුමෙන් වසං වෙමින් ගෙතුලට රිංගාගත් දැරිවිය එඹි බැලුවේ කෝලං සිනා පාමිනි.
"හරි දුවේ අපි යනවා....."
වහා කුළිරථයට රිංගා ගත් පෙරේරා මහතා අතින් යන ලෙස රියැදුරුට සන් කළේය.

............................
"සුමනා මේ කෙල්ලට බැණලා වැඩක් නෑ.
මේවාට අපිත් වැරදිකාරයෝ.
නිකම් හිතලා බලන්න මුල ඉදන්ම ,
අපි කරලා තියෙන්නේ හරි දේ ද කියලා.."
දැන් අපිට කරන්න තියෙන්නේ මේ ලමයාව නිදහස් කරන එක..

පෙරේරා මහතා දන්නා හදුනන වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ගෙන්ම තොරතුරු විමසා සිටියත් ඒ ලද තොරතුරු සතුටුදායක නැත.
ඇග ඇයගේ වුවත් ඇයට එය අනවශ්‍ය වුවත් කල හැකි නීත්‍යානුකූල කිසිවක් නැත.
ඔය අතර කැළෑගම ජුවානිස් වෙදරාල ගැන තොරතුරු දැනගන්නට හැකි වුයේ අහම්බෙනි.
තැපැල් හල ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ චම්පිකගේ ත්‍රීරෝද රථය නිතර තරුණ ජෝඩු සොයයි.
මේ ඉව අනුව චම්පිකගෙන් ඇසු විට ජූවානිස් වෙදා ගැන දැනගැනීමට හැකිවිය.
ජුවානිස් නැතහොත් එරඬු නැට්ටේ වෙද මහත්මයා පෙරේරා මහත්මයලාගේ ඉටු දෙවියා වුය් ඒ අයුරිනි.
........................
ජුවානිස්ගේ ගෙදරට තරමක් දුරින් වෙදහල පිහිටා තිබිණි .
ගෙදරට හැරෙන ගේට්ටුව අසල විශාල පුවරුවක ජුවානිස් වෙදමහතාගේ වෙදකම් පිළිබද විස්තර කර තිබුණි.
එහි කාන්තාවන්ගේ කල් ගතවු ඔසප් විම් එවේලේම ඇති කර දෙන බව විශේෂ කොට සටහන් කර තිබුණි.

වෙද මහතා මැදියම් වයසේය.
විශාල උඩු රැවුලත්, බෝතල් මුඩි උපැස් යුවලත් නිසා වයසට තව අවුරුදු කිහිපයක් එක් කර තිබුණි.
පලල් උරිස්සේ පළල අත් සහිත බැනියම නිසා තවත් පලල් ව තිබිණි.
දෙපතුල් පල්ලේ වු පඩික්කමට තවත් විශාල බුලත් කෙල තලියක් හෙළු හේ..
"කෝ වම් අත දෙමු බලන්න"
රුවනීගේ වමත ගත් හේ දෑස පියා ගත්තේය.

"මාස තුනයි...........
ඉස්කෝලේ යනවා මගේ හිතේ..."

"ඔව් වෙද මහත්තයා, මේ පාර ඕ ලෙවල්"

"හොදා ... හොද.....
ලක්ෂයක් දෙන්න මහත්තයා ......
අද හලනවා නම් හෙමයි, නැත්ත මාස හතර පහු උනොත් ගාන වැඩියි."

චම්පික සියලු තොරතුරු ලබා දී තිබුණි.
අවශ්‍ය මුදල් පෙරේරා මහතා සුරැකිව ගෙනවිත් තිබිණි.

වෙදහලට ඔබින් වු ලැගුම්හලකට පෙරේරා යුවල පිටත් කෙරිනි.
එහි තවත් මැදිවියේයුවලක් සිය වාරය අපේක්ෂිතවබලා සිටියහ.

විනාඩි හතලිස් පහකට පමණ පසු රුවනිගේ කාර්යය අවසන් විය.
මේ සදහා එඬරු නැට්ටට අමතරව තවත් නැට්ටක් ගැසු බව ඇය හැරුණු විට දන්නේ නැට්ට ගැසු තැනැත්තාම පමණි.

නගරයේ පාසලින් ඉවත් කල රුවනි ගමේ පාසලට ඉන් පසුව ඇතුලත් කරන ලදි.
............................................

හමාර කීම...........

මේ වන විට රුවනී පෙරේරා නිතිඥවරියකි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රබල සංවිධානයක සම කැඳවුම්කරුය.
ගබ්සාව නිතීගත කිරිම සදහා විශාල හඬක් නංවයි.
දරු දෙපලකගේ මවකි.. ඇයගේ සැමියා බණ්ඩාරය. ඔහුද නිතිවේදියෙකි.








Saturday, April 6, 2019

මහසෝනා


ඉස්සරහ දිවුල් ගහ පැත්තෙන් ඇහෙන බකමුහුණු විලාපය,
සිය ඇඹේණීය සදහා වන ආලිංගන ඇරැයුමක් වුණත් කිරි බණ්ඩේගේ පපුවයි කනයි දෙකම හාරාගෙන ගියා.
කිරිබණ්ඩා පුංචි කාලේ අහපු හොල්මන් කතා ඇස් ඉදිරියේ මැවි මැවි මැකෙන්න ගත්තේ ,
ඇගේ මයිල් කෙලින් කරමින්,
හීතල නැතුවම කිරි බණ්ඩේගේ හීබොඩු මතු වුණා.....
උක්කු මැණිකේ ලිප ලග ඇණබාගෙන ලිපගිනි සරු කෙරුවේ කුරහන් පිට්ටුව ඉක්මනින් හදා ගන්න,
තව කලුවර වැටුණොත් කිරිබණ්ඩේ අවලාද කතා වලින් ගේ පිරෙන්න ගන්නා බව උක්කු මැණිකේට ආයේ කවුරුවත් කියා දෙන්න ඕන එකක්යැ.
අල්ලාපු ලිපේ ලුල් මාළුව බොක බොක ගාමින් පැහුණේ ගින්දර පාට හොද්ද උකු ගස්සවමින්.
එකෙන් ආපු කුයිලට පිස්සු වැටුණු බළල් නාම්බා ලිප වටේ ඩෙගා නැටුවා.

ඈතින් පෙනුන උණ්ඩියාගේ පැලට ඉහලින් හඳ පායාන එමින් තිබ්බා.
පිලේ වාඩිගෙන උණ්නු කිරි බණ්ඩේ බුලත් වට්ටිය ඇන්න තලාකොළ අහුරකුත් එක්ක හුණු කලවං කරන් ජෑකරල් පොත්තක් කටට බස් ගාලා විසි කරා.
සරං ගැටේ සුරුකිව තිබ්බ දුංකොලෙන් තරමක කැල්ලක් කටේ දමා ගත්තේ තරමක් වෙලා විට පදං වෙන්න ඇරලා.

උදේ පොල් අතු රටා ඇදෙන්න අතු ගාපු මිදුලේ තැන තැන අඹ කොළ වගේම අරලිය මලුත් විසිරිලා.
ලොවි ගහ පල්ලේ උඩහ ගෙදර උංගියායි උගේ නඟායි හදපු කෝම්පිට්ටුත් එක්ක පොල්කටු කිහිපයක්ම උඩ බලාන උන්නා.
උක්කු මැණිකේ එක්ක පැල් ගැහිලා මේ නැගෙන පෝයට පෝයවල් නවයක්ම වෙනවා.
ඊයෙත් කිරි බණ්ඩේගේ කනවැන්දුම් අක්කණ්ඩියි, අම්මයි ඇවිත් ගිහින් තිබ්බේ නිකම්ම නෙමෙයි කියලා,
උක්කු මැණිකේ ඇතුල් ගෙයි ගල්ලෑ පැදුරේ දපාන ඉන්දැද්දි කිරිබණ්ඩේට නොහිතුනා නෙමෙයි.
තේ කහට ඩිංගිත්තක් ඉල්ලද්දී,
කුස්සි කෑල්ලට යද්දී කකුළේ දැවිටි ආලවන්තකම් පාන්න ගිය බළල් නාම්බා ඕවා දන්න එකක්යැ.
උෟ උඩින් ගිහින් දිස්ගාලා වැටුණේ බාලා තිබ්බ දුං මැස්ස උඩට,
තව ඩිගෙන් එකා වේලි තිබ්බ අංගුණ්ටන්ට වැඩෙි දෙනවා.
කිරිබණ්ඩේටි එකාව කන් කෙටියෙන් උස්සලා අයිනකට දැම්මේ.

"මේ ඇහුණාද?...
ඕන්න පිට්ටුව බෑවා.....
පැලට යන්ඩ සුනගුං වෙයි.

කලගෙඩියෙන් වතුර පොල්කට්ටක් නවාන ජුකු බුකු ගාලා බුලත විඩේ හෝදාලා,
වතුර ඉතිරියෙන් අතත් තෙමාගත්තු කිරිබණ්ඩේ කුස්සි කෑල්ලට රිංගුවා.
මඩක්කුව පිරෙන්න බෙදපු කුරහන් පිට්ටුව වැහෙන්න හොදි වක්කරපු උක්කු මැණිකේ එක දෝතින්ම පෑවා.
කිරි බණ්ඩේ වංගෙඩිය උඩ,
උක්කුමැණිකේ හිරමනේ උඩ.

"ඕන්න අදත් ආරච්චියා හෑන්දැකරේ මෙහේ ආවා........"
උන්දැට උඹැහැ ලව්වා මොකක්දෝ කාරිනාවක් කර ගන්න තියෙනවාළු.."

ගමේ ආරච්චියා ගැන ඇත්තේ හොද ආරංචි නොවේ.
කරන තරමක් පසික්කාඩු වැඩ කරන්නේ උන්දැය.
නානා සමඟ එකතු වි නුග ලන්ද කෑලේ කංසා හේන් වවනා බව නොදන්නේ ආණ්ඩුවේ මහතැන් පමණී.
ඇහට කනට පෙන ඉස්තිරියාවන් ඉතරක්යැ ඔය පීදෙන නැඹුල් කෙහෙල් ගස් වාගේ ලැමිස්සියෝ ද බලය නිලය ⁣පා තම වසඟයට ගන්න උන්දැ දතකන වග කිරි බණ්ඩේගේ ද දනී.

වංගෙඩි පල්ලේ වාඩිගෙන පිට්ටු කන උක්කු මැණිකේ වතුර නමා ගැනිමට පාත්වෙද්දී කිරිබණ්ඩේ ඇඟ සීස් ගා ගියා.
කිරි බණ්ඩේ හනි හනික කුරහන් පිට්ටු ගුලි ගිල දැම්මේ වෙන කල්පනාවකින්.

කිරි බණ්ඩේ පැටියා කාලේම අපුච්චා එක්ක හේනට කුඹුරට ගියේ.
ආය ඉතිං ඇස්වාක් නෑ ඕන වගාවක් පිලවෙලට කරන ගොය්යෝ කීප දෙ⁣නාගෙන් කෙනෙක්..

"මැණිකේ......
ඔය ලොකු පැදුරම එලුවන.......
මං ඩිංගක් සුනංගු වෙලා අද පැලට යනවා....."

හේනක් කොටන කොට ඔය මහ බැද්ද කපාලා හිටං ,
ලොකු ගස් කදු බානවා...
එක බොහෝම සීරුවට කරන්නේ..
බීජ වපුරන්න කලිං භුමිය පාදා ගන්න ඕන.
වරිච්චි බිත්ති වලින් වට වුණු ඇතුල් ගෙයි තිබ්බ කුප්පි ලාම්පුව නිමුවට ජනේල් පියං නැති ජනේලියෙන් ඇති පද හඳ එලිය රින්ගපු හින්දා ,
වරිච්චි බිත්තියේ දුව පැනපු හුණන්ව උනත් අදුරගත්තැකි.
ගල්ලෑ පැදුර උඩ පුළුන් කොට්ටා දෙකෙන් එකක ඉතරයි හිසක් තිබ්බේ.
කිරිබණ්ඩේට පුළුං කොට්ටා වලටත් වඩා මෙලෙක් කොට්ටා දෙකක් ලැබී තිබ්බා.
කොහොමටත් හේනක් කොටා බීජ වපුරද්දී ගොය්යාට හොද හැටි වෙහෙසයි.

කිරි බණ්ඩේ කලගෙඩිය ඇල කරාන වතුර ⁣පොල් කටු දෙකක්ම හිස් කරා.

බුලත් මල්ලයි, කොළ කැත්තයි ඇන්න කිරි බණ්ඩේ පැලට යන්න පිටත් වුණේ පොල් අතු පැලැල්ල ඉස්සරහ දොරට හේත්තු කරමින්.
එකේ පොල්ල දාන්න උක්කු මැණිකේ දැම්ම එන එකක් නෑ..
ඉදි කඩුල්ලේ පොලු තුනම දාපු කිරි බණ්ඩේ කෑලි හයේ බෑස්ටිය දෙවට එලිය වෙන්න ඇල්ලුවා.
හද්දෙය්යනේ මහනුගේ ලග අමුත්ත කිරි බණ්ඩේට දැණුනා.
එතන දෙවට කළුවට හිට උන්නු මහසෝනා දැක්කාම කිරිබණ්ඩේට බයකට වඩා ආවේ තරහක්,
මහසෝනා පාර උඩ තමන්ගේ රහසඟ වැටෙන විදිහට උන්නේ .
කකුල්වල කළුම කළු මයිල්.
අතේ තද වෙච්ච කොළ කැත්ත අමෝරාගෙන කිරි බණ්ඩේ ඉස්සරටම ගියා.

"ආරච්චි මහත්තයාගේ යටිබඩමළු කපා තියෙන්නේ."
"ඔය කෑලෑ අස්සේ මොකට හක්කල කොරන්න ගියාද?"
"ඉන්තේරුවෙන්ම අර යකා මහත්තයලා කංසා හේන් හබයට කොටා දාන්න ඇති."
"ඕකාට නං දෙය්යෝ අඩුව දීලා තියෙන්නේ"

කයිප්පු මුදලාලිගේ ⁣කඩේ කහට එකක් බොමින් හිටි කිරි බණ්ඩේ,
සිය කහට එකේ අවසන් උගුරත් හලා ගත්තේ
"මුදලාලි මට ලෑතර දෙකකුත් දෙනවාකෝ" යි කියමින්...
උක්කු මැණිකේ ලෑතර වලට කෑදරයිනේ.