Pages

Saturday, April 6, 2019

මහසෝනා


ඉස්සරහ දිවුල් ගහ පැත්තෙන් ඇහෙන බකමුහුණු විලාපය,
සිය ඇඹේණීය සදහා වන ආලිංගන ඇරැයුමක් වුණත් කිරි බණ්ඩේගේ පපුවයි කනයි දෙකම හාරාගෙන ගියා.
කිරිබණ්ඩා පුංචි කාලේ අහපු හොල්මන් කතා ඇස් ඉදිරියේ මැවි මැවි මැකෙන්න ගත්තේ ,
ඇගේ මයිල් කෙලින් කරමින්,
හීතල නැතුවම කිරි බණ්ඩේගේ හීබොඩු මතු වුණා.....
උක්කු මැණිකේ ලිප ලග ඇණබාගෙන ලිපගිනි සරු කෙරුවේ කුරහන් පිට්ටුව ඉක්මනින් හදා ගන්න,
තව කලුවර වැටුණොත් කිරිබණ්ඩේ අවලාද කතා වලින් ගේ පිරෙන්න ගන්නා බව උක්කු මැණිකේට ආයේ කවුරුවත් කියා දෙන්න ඕන එකක්යැ.
අල්ලාපු ලිපේ ලුල් මාළුව බොක බොක ගාමින් පැහුණේ ගින්දර පාට හොද්ද උකු ගස්සවමින්.
එකෙන් ආපු කුයිලට පිස්සු වැටුණු බළල් නාම්බා ලිප වටේ ඩෙගා නැටුවා.

ඈතින් පෙනුන උණ්ඩියාගේ පැලට ඉහලින් හඳ පායාන එමින් තිබ්බා.
පිලේ වාඩිගෙන උණ්නු කිරි බණ්ඩේ බුලත් වට්ටිය ඇන්න තලාකොළ අහුරකුත් එක්ක හුණු කලවං කරන් ජෑකරල් පොත්තක් කටට බස් ගාලා විසි කරා.
සරං ගැටේ සුරුකිව තිබ්බ දුංකොලෙන් තරමක කැල්ලක් කටේ දමා ගත්තේ තරමක් වෙලා විට පදං වෙන්න ඇරලා.

උදේ පොල් අතු රටා ඇදෙන්න අතු ගාපු මිදුලේ තැන තැන අඹ කොළ වගේම අරලිය මලුත් විසිරිලා.
ලොවි ගහ පල්ලේ උඩහ ගෙදර උංගියායි උගේ නඟායි හදපු කෝම්පිට්ටුත් එක්ක පොල්කටු කිහිපයක්ම උඩ බලාන උන්නා.
උක්කු මැණිකේ එක්ක පැල් ගැහිලා මේ නැගෙන පෝයට පෝයවල් නවයක්ම වෙනවා.
ඊයෙත් කිරි බණ්ඩේගේ කනවැන්දුම් අක්කණ්ඩියි, අම්මයි ඇවිත් ගිහින් තිබ්බේ නිකම්ම නෙමෙයි කියලා,
උක්කු මැණිකේ ඇතුල් ගෙයි ගල්ලෑ පැදුරේ දපාන ඉන්දැද්දි කිරිබණ්ඩේට නොහිතුනා නෙමෙයි.
තේ කහට ඩිංගිත්තක් ඉල්ලද්දී,
කුස්සි කෑල්ලට යද්දී කකුළේ දැවිටි ආලවන්තකම් පාන්න ගිය බළල් නාම්බා ඕවා දන්න එකක්යැ.
උෟ උඩින් ගිහින් දිස්ගාලා වැටුණේ බාලා තිබ්බ දුං මැස්ස උඩට,
තව ඩිගෙන් එකා වේලි තිබ්බ අංගුණ්ටන්ට වැඩෙි දෙනවා.
කිරිබණ්ඩේටි එකාව කන් කෙටියෙන් උස්සලා අයිනකට දැම්මේ.

"මේ ඇහුණාද?...
ඕන්න පිට්ටුව බෑවා.....
පැලට යන්ඩ සුනගුං වෙයි.

කලගෙඩියෙන් වතුර පොල්කට්ටක් නවාන ජුකු බුකු ගාලා බුලත විඩේ හෝදාලා,
වතුර ඉතිරියෙන් අතත් තෙමාගත්තු කිරිබණ්ඩේ කුස්සි කෑල්ලට රිංගුවා.
මඩක්කුව පිරෙන්න බෙදපු කුරහන් පිට්ටුව වැහෙන්න හොදි වක්කරපු උක්කු මැණිකේ එක දෝතින්ම පෑවා.
කිරි බණ්ඩේ වංගෙඩිය උඩ,
උක්කුමැණිකේ හිරමනේ උඩ.

"ඕන්න අදත් ආරච්චියා හෑන්දැකරේ මෙහේ ආවා........"
උන්දැට උඹැහැ ලව්වා මොකක්දෝ කාරිනාවක් කර ගන්න තියෙනවාළු.."

ගමේ ආරච්චියා ගැන ඇත්තේ හොද ආරංචි නොවේ.
කරන තරමක් පසික්කාඩු වැඩ කරන්නේ උන්දැය.
නානා සමඟ එකතු වි නුග ලන්ද කෑලේ කංසා හේන් වවනා බව නොදන්නේ ආණ්ඩුවේ මහතැන් පමණී.
ඇහට කනට පෙන ඉස්තිරියාවන් ඉතරක්යැ ඔය පීදෙන නැඹුල් කෙහෙල් ගස් වාගේ ලැමිස්සියෝ ද බලය නිලය ⁣පා තම වසඟයට ගන්න උන්දැ දතකන වග කිරි බණ්ඩේගේ ද දනී.

වංගෙඩි පල්ලේ වාඩිගෙන පිට්ටු කන උක්කු මැණිකේ වතුර නමා ගැනිමට පාත්වෙද්දී කිරිබණ්ඩේ ඇඟ සීස් ගා ගියා.
කිරි බණ්ඩේ හනි හනික කුරහන් පිට්ටු ගුලි ගිල දැම්මේ වෙන කල්පනාවකින්.

කිරි බණ්ඩේ පැටියා කාලේම අපුච්චා එක්ක හේනට කුඹුරට ගියේ.
ආය ඉතිං ඇස්වාක් නෑ ඕන වගාවක් පිලවෙලට කරන ගොය්යෝ කීප දෙ⁣නාගෙන් කෙනෙක්..

"මැණිකේ......
ඔය ලොකු පැදුරම එලුවන.......
මං ඩිංගක් සුනංගු වෙලා අද පැලට යනවා....."

හේනක් කොටන කොට ඔය මහ බැද්ද කපාලා හිටං ,
ලොකු ගස් කදු බානවා...
එක බොහෝම සීරුවට කරන්නේ..
බීජ වපුරන්න කලිං භුමිය පාදා ගන්න ඕන.
වරිච්චි බිත්ති වලින් වට වුණු ඇතුල් ගෙයි තිබ්බ කුප්පි ලාම්පුව නිමුවට ජනේල් පියං නැති ජනේලියෙන් ඇති පද හඳ එලිය රින්ගපු හින්දා ,
වරිච්චි බිත්තියේ දුව පැනපු හුණන්ව උනත් අදුරගත්තැකි.
ගල්ලෑ පැදුර උඩ පුළුන් කොට්ටා දෙකෙන් එකක ඉතරයි හිසක් තිබ්බේ.
කිරිබණ්ඩේට පුළුං කොට්ටා වලටත් වඩා මෙලෙක් කොට්ටා දෙකක් ලැබී තිබ්බා.
කොහොමටත් හේනක් කොටා බීජ වපුරද්දී ගොය්යාට හොද හැටි වෙහෙසයි.

කිරි බණ්ඩේ කලගෙඩිය ඇල කරාන වතුර ⁣පොල් කටු දෙකක්ම හිස් කරා.

බුලත් මල්ලයි, කොළ කැත්තයි ඇන්න කිරි බණ්ඩේ පැලට යන්න පිටත් වුණේ පොල් අතු පැලැල්ල ඉස්සරහ දොරට හේත්තු කරමින්.
එකේ පොල්ල දාන්න උක්කු මැණිකේ දැම්ම එන එකක් නෑ..
ඉදි කඩුල්ලේ පොලු තුනම දාපු කිරි බණ්ඩේ කෑලි හයේ බෑස්ටිය දෙවට එලිය වෙන්න ඇල්ලුවා.
හද්දෙය්යනේ මහනුගේ ලග අමුත්ත කිරි බණ්ඩේට දැණුනා.
එතන දෙවට කළුවට හිට උන්නු මහසෝනා දැක්කාම කිරිබණ්ඩේට බයකට වඩා ආවේ තරහක්,
මහසෝනා පාර උඩ තමන්ගේ රහසඟ වැටෙන විදිහට උන්නේ .
කකුල්වල කළුම කළු මයිල්.
අතේ තද වෙච්ච කොළ කැත්ත අමෝරාගෙන කිරි බණ්ඩේ ඉස්සරටම ගියා.

"ආරච්චි මහත්තයාගේ යටිබඩමළු කපා තියෙන්නේ."
"ඔය කෑලෑ අස්සේ මොකට හක්කල කොරන්න ගියාද?"
"ඉන්තේරුවෙන්ම අර යකා මහත්තයලා කංසා හේන් හබයට කොටා දාන්න ඇති."
"ඕකාට නං දෙය්යෝ අඩුව දීලා තියෙන්නේ"

කයිප්පු මුදලාලිගේ ⁣කඩේ කහට එකක් බොමින් හිටි කිරි බණ්ඩේ,
සිය කහට එකේ අවසන් උගුරත් හලා ගත්තේ
"මුදලාලි මට ලෑතර දෙකකුත් දෙනවාකෝ" යි කියමින්...
උක්කු මැණිකේ ලෑතර වලට කෑදරයිනේ.





No comments:

Post a Comment