Pages

Monday, December 17, 2018

"දෙමලිචි උගුල"

ගුණපාල බඩරස්සාවට බැලගෙඩි කඩන හාදයා.
ඔය මණුස්සයා වැඩිපුරම ආසා වුණේ  ඒ ගස්ගෙඩි කඩන ගෙවල්වල පොඩි වුන්ව අමාරුවේ වැටෙන විහිළු කරන්න.
හවසට නම් පේදි මාමාගේ කසිප්පු කලවම් නාන ලිං වතුර බි ගත්තම ජෝතිපාල වෙනවා.
මට ඒ දවස්වල ජෝතිපාලවත් පෙන්න බෑ.
ඒ දවස්වල පොඩිවුන්ගේ පොදු ඇදුම ජංගීය.
චිත්ත රෙද්දෙන් මහපු ජංගී ඇදගත්තු කොළු කෙල්ලෝ වෙන් කර ගන්න නම් නාන ළිද ගාවටම යන්න ඕන.
ඇයි ගෙදරටම එන රැවුල් බාබර හැමෝටම ගහන්නේ නැඹිලි කට් එකනේ..
නාන එකත් මහ එපා කරපු වැඩක්.
තඩි බාල්දි⁣යකින් වතුර වක් කරද්දි හුස්ම ගන්නේ කොහොමද?
ඒ අමාරුව නැති කරන්න බෝවිටියා ඉපලකට පුළුවන් .
හැබෑයි ඉස්පල්ලේ වතුර බහින කාණුව හිරකරලා හදා හන්න පොකුණ නම් නාන්න විතරක් නෙමේ පීනන්නත් ජාති.
ඒවා අම්මලා දන්න එකක්යැ.
එ්ත් සුමානේ කිලිටි හෝදන  දවසට නම් ඇස් රතු වෙලා වේව්ල වේව්ල තමා ගෙදරට බස් එක එලවාන එන්නේ.

ගුණපාලය එනකොට මම දම්මිකායි, සුදුනෝනායි, සුදුමැණිකායි(මගේ ඕනෑ නොවුණු නෑනාලා)
එක්ක සෙල්ල ගෙදර පොල්පිති ළමයින්ට බෙහෙත් කරනවා.

"ආ සංජී මහත්තුරු........කෙල්ලොන්ට බෙහෙත් දෙනවා වාගේ"

ගුණපාලයා බුලත් කහට දත් දෙතිසෙන්ම හිනා වෙන්නේ ඇහැකුත් ගහන ගමන්.
ඌ දන්නවා මම ඔය කතා වලට කැමැති නැති බව........

"සවුසේට මොකද, යනවා යන්න......
නැත්තං රේමන් මාමාට කියනවා අපි"

"අප්පෝ මං බයයි,
කෝ නැද්ද බිත්තර කට්ටක්"

"මොකටද ගුණා මාමේ බිත්තර කටු"

ඒ දම්මිකා.
ඇය මගේ පලොලේම මගේ පංතියේම ඉගෙන ගන්නා
ලොකුම නෑනාය. මට වැඩිපුරම ජුවල් යන්නේ ඇය හා සම්බන්ධ කර කරන කවටකම්වලටය.
ඇයි ඇය වපරයිනේ.

"අය්යකෝ බොලාගේ රේමන් බඩා එද්දී හැන්ගෙන්න නෙවැ...."

මේ උත්තරෙත් එක්ක දම්මිකාගෙයි ,
සුදු නෝනාගෙයි ඇස් රතුවුණා......
රේමන් මාමා ඒ දෙන්නාගේ තාත්තානේ.
ඉගිලී ආ පොල්කටු ජෝඩුවෙන් ගුණපාලයා දක්ෂ ලෙස බේරි දිව්වා.......

ගුණපාලයා නවසි ගහේ කලටියකුත් අරගෙන ආවේ සුදු කොඩි ඔසවන්න.
නවසි ගහේ කලටියේ කට්ට ඇරෙන්න අනිත් හැමදේම කන්න පුළුවන් .

" සංජී මහත්තයා ආසා නැද්ද කුරුල්ලෝ ඇති කරන්න"

මගේ ඇස් බැබළුනා.........
කතා කරන පෙත්තප්පුවෙක් ඕන්න දැන් මගේ ඉස්සරහ.

"ආ.......සයි,...........
ගුණපාල ගාව ඉන්නවද ගිරවු"

" මං ඊයේ පල්ලැහැ ගෙදර පියල්ටත් ගිරා පැටියෙක් ගිහින් දුන්නා,
දැක්කේ නැද්ද..........
ආන් ඒකා ඉස්තොප්පු කෑල්ලේ කුඩුවක ඉන්නේ......."

"ඉතිං මටත් එකෙක් දෙනවකෝ"

"අපොයි මහත්තයා,
තව දෙතුන් මාසයක් ඉන්න වෙනවා.....
තාම බිත්තර ,
අර මෝලවත්තේ ගස් දෙක තුනකම බෙන වල ගිරවු ටැක් ගැහෙනවා මං දැක්කා නෙවැ."

"හැබැයි මහත්තයාට දෙමලිච්චෙක්ව නම් දැන් වුණත් අල්ල ගත්තෑකි..."

"ඒ කොහොමද'.........

දෙමලිච්චෙක්  මගේ අතේය. ගුණපාලය නරකම නෑ ඉතිං..
මගේ හිත තුල ගුණපාල ගැන ආදර කරුණාවක් ඇතිවේ.

"මහත්තයා,
පොල්කුඩු ඩිංගක් ගෙනත් අතන දාන්න ,
දෙමලිච්චෝ  පොර කන කොට
ජංගීය ගලවලා ඔළුවට දාගන්න.....
ඉට පස්සේ හෙමිහිට ගිහින් අල්ලගන්නයි තියෙන්නේ........."

"ඉතිං උන්ට පෙන්නේ නැද්ද?"

"එකට තමා මහත්තයෝ ජංගීය ඔළුවට දාන්නේ"


අපුරු උපායකි. මං කුරුල්ලා වහ වහා අම්මා උයන තැනට පියඹා ගියේ ඉක්මණින්ම පොල්කිච්චෙක්ව අල්ල ගන්නයි.
සියල්ල හරිය .
පොල්කිචි නඩය කෑ කොස්සන් ගසමින් බඩගෙඩි පුරවා ගනී.
දැන් මගේ මොහොතයි.
සීරුවෙන් ජංගීය ඔළුවට දා ගත්තෙමි.

දඩ බඩාන්..........
වතුර පනිට්ටුවත් පෙරලාන මා පොල්ලෙලි ගොඩ මතය.
අම්මාට පොල්කිච්චන්ට තරම් කෑ ගැසිය නොහැක.
මට පොල්කිචි කෝලාහලය මැද අම්මාගේ හ⁣ඩද ඇසෙයි.
ජංගීය නිසිතැන රැදවු අම්මා හදිසි අනතුරේ විභාගය ඇරඹුවාය.
වැඩි තුවාලයක් නැතත් අත සහ කකුල් හිරි ඇත.
කුරුම්බැට්ටියක් අඟුරෙන් උරච්චි කරන ගමන් අම්මා ගුණපාලගේ ගණන් බේරුවාය.
ඒ වන විටත් ගුණපාලයා පොල් ගසක් උඩ විය යුතුය.
මගේ දත් කිරි කිරි හඬින් ගැටේ.
යලි ඌ දකින විට සියළු ගිනි නිවි ,
ගිනි අඟුරු අළු යටය.

Wednesday, December 5, 2018

දෙවියෝ

පාන්කිරිත්තෙක් සිය සහකාරිය සදහා ඇරුයුම් කරන ගී රාවය ගම්මැද්ද සිසාරා ගියේය.
බුලත් විඩක් හපමින් මුදලියා රැල් බුරුල් හැරියේය.

"ඔය උත්තමයා වැඩියාය කියන්නේ හිමාලයේ ඉදන් නෙවැ.....'

"එහේ වරුස ගානක්ම තපස් රැක්කලු..
ආයේ ඉතිං මුළු හීන්නම උන්නාන්සේගේ රැස් කදම්බේ.........."

හේ දෙතොල අස තැබු ඇඟිල්ලෙන් බුලත් කෙල පහර වෙර ගැන්විය.
කළු එතනාගේ දහස්පෙතියා මල් පාත්තියේ මල් රත් පැහැ බුලත් කෙලෙන් රක්ත වර්ණය හැරැණි.

"හැබෑද මස්සිනේ දි⁣වියෝ කාරිය උන්නාන්සේගේ දෙපා නමස්කාර කරනවා කියන කතාව"

ඒ ගුණයාය.

"නැතුව........
කෑළැවේ ඉන්න කොයි හීපාවත් උන්නාන්සේ ගාව කිරි සප්පයෝ ගානයි........"
අර මහ වල් ඇත්තු ගෙනත් දෙන ගඩාගෙඩියෙන් කියනවා ඔය අපි මුණ ගැහෙන්න කලියෙන් උන්නාන්සේගේ දිවි රුකුණේ......."

සුදු පිරිවටයකින් වැසු දන් කද රැගත් සුමනා ගෙයි පිල වෙත පැමිණියේය.
ඔවුන් මේ සැරසෙන්නේ හින්නේ උත්තමයාගේ දානය ගෙනයාමටයි.
හින්නේ උත්තමයායාගේ පහල විමද අපුර්ව සිදුවිමකි.
මින් සාර මසකට ඉහත්තෙන් ඉනි කැපීම සදහා වන වැදුණු සුදු බන්ඩේ සහ කළුවා දියතත්තය නිවා ගැනීමට හීන්නෙ තිබු දිය පොකණට ගියේය.
එහි ඇති ගල් දෙබුක්කේ වු වෙනස විපරම් කිරිමේ දී එතුල වු මුහුණ පුරා රැවුලද ,
හැඩපළු ගෙති කෙස්සද සහිත ආගන්තුකයා දුටුවෝය.
වාඩිගෙන උන් ඔහු ඇද සිටියේ කසාවතකි.
පෙනුමෙන් තවුසෙකි.
කළුවා සහ සුදුබණ්ඩා ඇසු කිසිවකට ඔහු දුන් උත්තරයක් නැති.
හිස් බැල්මෙන් වනය දෙස බලා හුන් ඔහු හා කතා කිරීමේ නිශ්ඵල කාර්ය අතැර දැමු ඔව්හු මෙම අපුරු ආගන්තුකයාගේ  සම්ප්‍රාප්තිය පිළිබද පුවත සිය සිතැඟි අනුව ඔප මට්ටම් කොට නානාගේ කඩපිලේදී ගම්වැසියන් හට බෙදුවෝය.
එතැන හුන් ගම්වැසියන් මේ පුවතට තව තවත් ආලවට්ටම් දමා හමුවෙන සිය හිතවතුන් හමුවේ කියා පැවෝය.
පසුදින උදෑසනම ගම්වැසියන්ගේ පෙරහැරකි.
ඒ හින්නේ උත්තමයාගේ දර්ශනය සඳහායි.
එහිදිද හින්නේ මේ හින්නේ උත්තමයාගේ ශ්‍රී මුඛ්‍ය විවෘත කිරිමට දැරැ ප්‍රයතන්න ව්‍යර්ථ විය.
එතැන් සිට ගම්වැසියන්ගේ දුක්ඛ දෝමනස්සයන් සදහා සෙත සදහ අසහාය සුවසාදකයා වුයේ හින්නේ උත්තමයායි.

බණ්ඩියාගේ ලොකු කොළුවාගේ ⁣කකුළේ වු වනය සුවපත් කිරිමට හින්නේ උත්තමයාගේ ආසිරි ගැන්වු පැන් වලට හැකිවිය.
හොර රහසේ පැමිණි සොමිනා සිය නැන්දණියගේ තාඩන පිඩන නැති කිරිම සදහා නියඟලා අල කිහිපයක් ගෙනවිත් උතුමාණන්ගේ ආසිරි වතුරෙන් ,
බතල හා තම්බා කෑමට දුන්නේය.
මේ ආකාරයට ගමේ හැමෙකෙක්ම පාහේ හින්නේ උත්තමයාට ණයගැතිය.
උන්නාන්සේගේ පිහිට නොපැතුවෙක් මේ ගම්කරේ නොමැති තරම්ය.


ඒ කොළණියේ ලංකාවේ හතර දිග්බාගයෙන්ම පැමිණියෝ වුහ. නව ගොවිජනපද ලෙස හැඳින්වු මේ ගම්වල වැසියන්ට රජය විසින් අක්කර දෙකක් පමණ ඉඩම් වෙන් කොට දී තිබිණි.
රාජසිංහ කෝරාළ මහත්මයා පාරම්පරික ගමේ මෙන්ම නව ගොවිජනපදයෙත් නිල හිමිකරුවාය.
එහි දෙයක් වුවහොත් එය රාජසිංහගේ කැමැත්තමය.
අංක 12 කට්ටියේ කටුමැටි පැලෙහි විසුවේ නාමරත්න සහ ඔහුගේ බඩගැබ්බර බිරින්ඳැයි.
තවම දෙමසක් පමණ වු කුසතුල වු ප්‍රාණියාගේ විසුම කිසිවෙක්ට නොපේනේ.
හැරත් කෙසඟ ගැහැණියක වු නාමරත්නගේ බිරින්ඳැගේ කුසක් ඇත්තේදැයි බැලුවොත් මිස⁣ නොපේනේ.
එදා නාමරත්න සමාගම් කඩේට ගියේ කුපන් බඩු ගෙන ඒමටයි.
බඩු ගෝනිය හිස මත තබාන හන්දියේ බේකරි කඩෙන් ගත් ලෑතර දෙක බඩතුරේ ගසාන හනි හනික පැල දෙසට ආවේ
සිය බිරින්ඳැ ලෑතර කෑමට කැහුලාකොම නාමරත්න දන්නා නිසාය.
නාමරත්නගේ කටුමැටි මාළිගාව ඇති රොට්ටුව දිගේ රාජසිංහ ප්‍රමුඛ ඔහුගේ අතවැසියන් රොත්තක් කඩිමුඩියේ එනු නාමරත්නද දුටුවේය.
රබර් කෙහෙල් පදුර අසල කඩියා ලේ පෙරාන මැරි හුන්නාය.
ගෙදර සාල කෑල්ලේ වුයේ කිසිවෙක් කිසිදා දැකිය යුත්තක් නොවේ.
ගිනියම් වු රුහිරු නාමරත්නගේ දෙනෙතෙහි කදුළු වියලා දැම්මේය.
ප්‍රාණය නිරුද්ධ සිය පන මතින් පැන කුස්සි කෑල්ලට ගිය නාමරත්නගේ සුරතෙහි අත් පොරව කිටි කටියේ තඳ වුණි.

ලේ වැකි අත් පොරොව ඒ මහා වාපියේ ජල කද තුල නිදන් කල නාමරත්න සිය ගමන ඇරඹුවේය.
ඔහුට යා යුතු,
යා හැකි තැනක් නැත.
එහෙත් යා යුතුය.

හීන්න ඉදිරියේ මහා නුගයකි. මේ මහා නුග රුකෙහි වාසය කරන රුක් දෙවියෙකි. හේ මේ ගම්වැසියන්ගේ අරුම, කරුම සිය දිව නෙතින් බලා හිඳියි.
දිව කනින් අසා සිටියි.
එහෙත් කරනා දෙයක් නම් නැත.
අවසන හින්නට අරක් ගත් මිනිස් දෙවියාගේ පහල විමද දුටුවේය.
විමතියෙන් ඒ බලා හුන්නේය.
මේ දෙවියාගේ යලි දිව්‍යලෝකයට කරන කැදවිම ලද දින හේ යමක් කිිරිමට සිතුවේය.
මේ මිනිස් දෙවියාට සිතන පතන දේ ඉටුවන වරයක් දිමට හේ ඉටා ගත්තේය.
අළුයම "හීන්නේ උත්තමයා" අස පහල වු රුක් දෙවියා
" එම්බල නරය.........
තාගේ සෑබැව මම දනිමි......
මා තා මෙතැන් සිට දෙවියෙකුට සම කරමි.
තොප යමක් පතන්නේද?
එය වහා සිදුවනු ඇත.'
මෙසේ කියු රුක් දෙවියා දිව්‍ය ලෝකයට චුත විය.
මේ වු අරුමය කුමක්දැයි සිිහි එළවා ගත නොහි උත්තමයා සිතුවිලි අතර කිමිදෙන්නට විය.
අසල වන ලැහැබක වු නරියෙක් මුසල හඩින් උඩු බුරා ලන්නට වුයේ එවිටමය.
එක්වනම නරි බිරුම හමාර වුයේ ඌ තු තු කඩ පුපුරා යාමෙනි.........


උදැසන හීල රුගෙන ගම්කරේ ගැමි කාන්තාවක් සහ ඇයගේ නාඹර දියණිය එනු පෙනිණි.
හීන්නේ උත්තමයාගේ දෙනෙත ගැමි ලිය පරයා තුණු යුවතිය මත රැදිණි.
යුවතියගේ හැට්ටය ජර බර හඩින් ඉරි යන්නට විය.
ඇය බියපත්ව සිය පීදෙන ලැම වසා ගන්නට නිරර්ථක වෑයමක යෙදුණාය.
හීන්නේ උත්තමයා වහ වහා නැගිට දිවගොස්  හීන්න කෙලවර ප්‍රපාතයට පැන්නේය.


දිව්‍ය සභාවේ මහ දෙවියා අභියස රුක් දෙවි ආත්මයත්, හීන්නේ උත්තමයාගේ ආත්මයත් විනිශ්චය සදහා බලා හුන්නෝය.

"එම්බල පුර්ව රුක් දෙවිය.......
තා තට කල හැකි කිසිවක්ම නොකලේය.
තාගේ බලය තා අපතේ හැරියේය.
ඒ නිසා මා තා මිනිසෙක් කරමි."
ඉනික්බිති හින්නේ උත්තමයාගේ ආත්ම රෑපය දෙසට හැරි මහ දෙවි මෙසේ කීවේය..

"නරය , තා නරයෙකු ලෙස කල හැකි දේ කල අයෙකි.
ඒ නිසා මා තා නුගයේ රුක් දෙවියා කරමි."

එවිට මිනිසෙකු විමට නියෝග ලත් දෙවියා වහා කලබල විය.
"ස්වාමිණි එය දෝශ සහගතයි.
මුං මාගේ වරය නිසා ලපටි යුවතියකගේ හිරි ඔතප් විනාශ කිරිමට සැරසුණා....."


අහා........
වඩා වැදගත් වන්නේ ක්‍රියාවයි.
මේ නරයා තමන්ට ලැබී තිබු වරය අනුව ක්‍රියා නොකට ඒ බලය විනාශ කලා ......
ඒ නිසා මාගේ වචන ඒ අයුරින්ම ඉටු වේවි."



Saturday, November 24, 2018

"වදකහ සුදිය"

"වදකහ සුදීය"
අපේ ලොකු අම්මා රොසලින් නෝනාය. උන්දෑ මාගේ තාත්තාගේ අම්මාය. කොටින්ම මාගේ දෙවැනි මව්ය. කුස දරා නොවෑදු එක පමණී.

 තම ලොකු කොළුගේ ලොකු කොල්ලා වන්නියේ තබන්නට අකමැති වු ඈ මා හා මව  සිය ගෙදරට කැදවා ගෙන ඇත්තේ මට තෙමසක් ගත විමටත් පෙරාතුවමය.
මට වයස අවුරුදු හතරක් වනතෙක්ම සිටියේ පල්ලෑහැ ගෙදරය. පොල්අතු හෙවිලි කොට තිබු ඒ නිවස තාප්ප බිත්තියෙන් වට වුවකි.
නිවසට කොටස් තුනක් තිබිණි. ඉස්තෝප්පුව, මැද කෑල්ල සහ කුස්සියයි.
ඉස්තෝප්පුවේ තාප්ප බිත්තිය බාග බිත්තියකි.

මා ⁣බොල්ලත පල්ලියේ ශ්‍රීමා ටිචර්ගේ මොන්ටිසෝරියට බන්දන විට අම්මා මල්ලීද සමඟ යලි වන්නියට ගියාය. ඒ තාත්තා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට මාරු කර නිසාය.
එතැන් පටන් මාගේ බාරකාරිනිය ලොකු අම්මාය.
හෑන්දැකරේ ලොකු අම්මාගේ ගෙදරට ලොකු නැන්දාගේ සහ රංජනී නැන්දාගේ ලමයින්ද පැමිණේ.
සාලයේ එලන පැදුරු වල අපි සියල්ලෝ නිදා ගත යුතුවේ. රූපවාහීනි නොමැති එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වු මුවන්පැලැස්ස සහ මොණරතැන්න අප අසා සිටියේ සතුටෙනි.
වජීරා පොඩි අපට ශ්‍රවණය කිරීමට නුසුදුසු බව ලොකු අම්මලාගේ මතය වුවාය.
නින්දට යනතෙක් අප අසල වැතිරෙන ලොකු අම්මා අතීත රසබර තොරතුරු කියා දෙන්නීය.

" ඒ එකදාස් නවසිය පනස්පහේ අවුරුද්ද,
ඔය සිළුමිණේ, රිවිරැසේ මහ පුදුම ආරන්චියක් දැම්මා............
ඉර පායන්නේ නැති කාලයක් එනවාය කියල⁣ා.....
හත් දෙය්යනේ ඉතිං අපි , දවස් ගානකට ඇති වෙන්න සිරාබීරා ගෙදර ගොඩ ගැහැව්වා.
ඔය හන්දියේ කඩේ ලාපුතෙල් නැත්තටම නැති වුණා..........
ඉර නැතිවුණාම එලිය බැලුවොත් ඇස් කණ වෙනවාය කියලා රාවයකුත් ගියා.....
තව පත්තරේක දාලා තිබ්බ වදකහ ඉස්ම ,
ඒ කළුවරේ බිව්වොත් සුද්දන්ගේ වාගේ හම සුදු වෙනවය කියලා.
නෝනම්මලා, ඈලාලා, කවුරැ කවුරුත් සුදු වෙන්න වදකහ ඉස්ම හදා ගත්තේ හොර රහසේ..............
ඉතිං ඔය ජුලි 20 දා මහ දවාලියේ එකපාරටම කළුවේගන ආවා........
අපේ මාලනීයා හෝ ගාලා අඩනවා...
කුකුල්ලු ඕන්න දඩිබිඩියේ ගස් යන්න පටන් ගත්තා......
කොහොම හරි පැයක විතර කාලෙකින් ආයේ ඔක්කොම හරි ගියා......
හැබැයි.......
ඇලෑලා ගෙදර වගේම හෑම ගෙදරකම වමනේ කාරයෝ.......
විලියොංගේ හයර් කාර් එකේ ලෙඩ්ඩු තුන් හතර දෙනා පටව රාගං ඉස්පිරිතාලේට ඇන්දා.
බලාන ගියාම හැම ගෙදරකම වාගේ හිටපු ඉස්තීරියාවෝ සුදු වෙන්න වදකහ ඉසම බීලා...."

"එව්චරද ලොකු අම්මේ"

මා එසේ අසන විට ලමා නඩයේ සියළු දෙනා නින්දෙය.....
ලොකු අම්මාගේ අතගිලි මාගේ හිසකේ අතර යවන්නේ නැති උකුණන්, ලේඩීන් සොයාය.
මගේ දෙනතද අඬවන්වේ..

Thursday, November 1, 2018

"එකට එක"

පොඩ්ඩා සිය පුපුරු ගසන පිට අත ගා ගන්නට අසාර්ථක උත්සහයක් ගත්තේය. "බාප්පා" කොළු රෑන සමඟ නඩලමේ ගියේ යැයි "මල් කෑර" කෝටුවක් කැඩෙන තෙක් පිට හරහා තැළුවේය.
"බුදු තාත්තේ ආයේ යන්නැතෝ"
විලාපයට වත්ත පහල පලා කඩන්නට ගොස් සිටි අම්මා නොඑන්නට පොඩ්ඩේගේ පිට මේ තරමින් වත් බේරැම් බොරුය. අම්මා හුල්ලන පොඩ්ඩේගේ පිටේ සර්ව විශාදිය තෙල් තලියක් ගා පිරිමැද්දේ
විටින් විට චීත්ත පොටෙන් නහය සහ දැසද පිසිමිනි.
"නාඬා ඉදිං කොල්ලො , මං උඹට රෑට සාඩිං ටින් එකක් ගෙනත් බත් උයලා දෙඤ්ඤං "
එහෙම පොඩ්ඩේට නාඬන ලෙස කීවද අම්මාගේ කදුළු උල්පත්වල දිය සීරාව නොසිඳි ඇති බව පොඩ්ඩෙට කදුළු තීර දැමු දැස් තුළින් පෙනිනි.

බටලන්දට පැන කපා ගත් බට ගසෙන් ⁣කොළු නඩයටම බට තුවක්කු නිශ්පාදනය කල අසහාය නිර්මාණකරුවා ගේ මුල්ලේ හොටු ද කදුළු ද එක සේ පෙරමින් හඩයි.
බූලාත්, කිටියාත් පොඩ්ඩේගේ දෙපසය.
උන් දෙදෙනාම මේ කාරණයේදී පොඩ්ඩේට පක්ෂපාතී බව පෙනේ.

කොහුකිරිල්ල ගෙඩි පතුරම් කිහිපයක්ම තවමත් පොඩ්ඩේගේ පස්ස ඉරී ගිය කලිසමේ පතුල තියෙන තිබෙන සාක්කුවක  තිබේ.
සෙනසුරාදා නිවාඩු දිනයයි.
පොඩ්ඩේගේ සිය අසල්වැසි කොළු නඩය සමඟ බටතුවක්කු වලින් සන්නද්ධව "කුරුන්ද" ආක්‍රමණය කලේ එහි ඇති දං, කීන සහ ගොරක අත්පත් කර ගැනීමේ මෙහෙයුමකටයි. සෑබැවටම එය ඔවුනගේ ඉලක්කයම නොවිය.
ගොරක ගෙඩියක බුරිය ඉවත් කොට, ඒ තුලට දැමිය යුතු අඩු වැඩිය ලෙස
ලුණු කැට,
ගම්මිරිස් ඇට , මිරිස්ගල ගාව පොල් කට්ටෙන් වසා ඇති තුනපහ ගුලියෙන් සොරා ගෙන කෙසෙල් කොලයක දැවටු තුනපහ ඩිංගිත්තට ඇඹරු  මිරිස් ද හාමු වි තිබිණි.

ගල්වල ගාව ගොරොක් ගහේ ගෙඩි පැණි රසයෙන් වැඩි බව කොළු නඩයේ කවුරුත් දැන සිටි රහසකි.
⁣පොඩ්ඩේ කොළු නඩයේ දක්ෂතම ලැක්කිකරුය .
ඇසක් වසා කුරුමාණම් අල්ලා ගසන ගල ගොරොක් ගෙඩි හත අටක් පොළවට කැන්දයි.

පොඩ්ඩේ ඇතුළු කොළු නඩය අට දෙනෙකි. මෙහි නොනිළ නායකයා පොඩ්ඩේය. සියළු දෙනාම ගමේ මහා විද්‍යාලයේ හයේ පංතියේය. පංතියේ නායකයා වු ගුණපාලද මේ ගමනට එක් වි තිබිණි.
පංතියේ වැඩ වලදී ප්‍රමුඛයා වුව ද මෙවැනි කටයුතු වල දී ඔහු සුට්ටා තරම්වත් දක්ෂ නැත. කම්බි වැටෙන් පනින විට පොඩ්ඩේ උදව් නොකරන්නට ගුණපාලගේ කමිසයෙන් කොටසක් කම්බියේ රැදෙනු නිසැකය.

පොඩ්⁣ඩේගේ මව සිරීයාවතීය. ඇය නමේ පරිද්දෙන්ම සිරීයාවන්තය.  පිනිජම්බුවක් බදු කම්මුලේ පැනෙන වල, නල දත් සිනහවට ආලෝකයක් විය.
අවාසනාවකට ඈ පෙම් බැඳි සිත්තර ගුරුන්නාන්සේට ඇයගේ නෑ සනුහරය අවලාද පිළිකුල් කඩු හෙල්ල අමෝරා ගත්තේ ඔහු හිනකුලයක වු නිසාය.
බුදු මැදුරේ ඇති මාර පරාදය චිත්‍රයේ  වු රතී දුටු අයෙක් නැත.
එහෙත් ඒ චිත්‍රයේ වම් පියවුර අසලැති කළු ලපයත්, නාභිය අසල වු කළු ලපයත් සිරීයාවතිගේ දේහයේ ඇති බව ඇගේ මව් දෙමාපියන් හැරුණු ව්ට දන්නී සිරීයාවතිය පමණකි.
ඒ එසේ වුයේ කෙසේදැයි එවකට දැස් නොතිබි පිළිම පවා නොදුටුවාය.

සිත්තර ගුරුන්නාන්සේට සිය කාර්යය අවසන් කිරීමට පෙරාතුවම ගමෙන් යන්නට වුයේ සිරීයාවතිගේ නෑ සනුහරේ පංසලේ ප්‍රමුඛ දායකයන් වු බැවිනි.

ඉන් දෙමසක් ගත වන්නටත් පෙරාතුව සිරීයාවතිය සඳහා යෝජනා වු ලැම්බර්ට් හා විවිහ විමට සිදුවිය.
ලැම්බර්ට් සිරියාවතීයට වඩා දස වසක් පමණ වයස වු හැඩි දැඩියෙකු වුවද නිදියහනේදී අත දරුවෙකු බව සිරීයාවතිට පසක් විමට වැඩි කලක් නොගියේය.
එහෙත් කසාද බැද නව මසක් ඈවැමෙන් ඈ සිත්තමක රූවක් බඳු කුමරෙකු වැදුවාය.
කාගේ ආදරය ලැබුණත් සිය පියාණන්ගේ ආදරය නොලැබෙන්නේ ඇයිදැයි පොඩ්ඩේ නොදන්නකි.


චුට්ටේ සිය බඩතුරේ සඟවා ගෙන හුන් කැටපෝලය ගත්තේ, තුය්යන් දඩයමටයි.
තුය්යෝ මේ වන විට දං පඳුරු වල දං ගෙඩි කෑමට පෙරහැරේ එමිනි සිටියෝය.
චුට්ටේගේ පස්වෙනි ගල් පහර අවාසනාවන්ත තුය්යා බිම දැමිය.
කොළු නඩය ජය ගෝසා කරමින් තුය්යාද රැගෙන ගල වලට ඔබින් ඇති ගල් තලාවට වහ වහා ගියෝය.
පොඩ්ඩේට ගිනි මැලයක් ගැසිමට ඒ හැටි කාලයක් ගියේ නැත.
ඒ වන විට තුය්යා පිහාටු රහිත මස් වැදල්ලකි.
බ්ලේඩ් තලයකින් බඩ කපා අතුණු බහන් ඇඳ දමා ඒතුලට ලුණු තුණපහ ඇතුලු කලේ චුට්ටේමය.

අහෝ ඒ කුණාටුව හැමුයේ ඒ සැණින්ය.
කුරුන්දට යාබඳව ඇති රබර් වත්තේ මාටින් මුදලාලි යකෙක් ලෙස ප්‍රාදුර්භූත වුයේ තනිවම නොවේ. නොම්බර හත කට්ටියේ කිරි කපන මැගිලින් ද ඔහු සමඟමය.

"⁣මේ මොන පව්කාර හැත්තක් ද,
යකුනේ තොපිට වෙන වැඩ නැද්ද බොලව්"

මාටින් මුදලාලිගේ පා පහරින් ගිනිමැලයට ඉහලින් පලැහෙමින් වු රසමසවුළු පොදිය බැද්දට විසික්කා විය.

"දුවපියව් පර බල්ලො.......
මින් මනත මේ පැත්තට රිංගාල අහු වුණොත් තොපේ අඩු කඩන්නේ මෑ කරල් කඩන්නැහේ"

පොඩ්ඩේ ඇතුළු කොලු නඩය පා සවි මැන නොගමින් පසු ගමන් ඇරඹිය. පංතියේ ඉදිරි පෙල ගුණපාල සියල්ලන්ටම පසුපසිනි.
අහම්බෙන් පසුබැලු ගුණපාලට මැගිලින් අ⁣තින් ඇඳගෙන ගල්තලාවට එපිටින් ඇති ගල් ගුහාවට යන අරොන් මුදලාලි දැක ගත හැකිවිය.

හවස ගෙදර එමින් සිටි ලැම්බර්ට්ට මේ මහා අවනඩුව කනේ තිබ්බේ මැගිලින්ය. ඇය කිරි කැපිමට අමතරව තව තව රැකියා ගණනාවක්ම කරන්නීය.
ගමේ පිරිමින් බල ගන්වන අමෘත පානය සිල්ලරට ලබා දෙන ව්‍යාපාරය ඇයගේය.
පුසන් ලෙස අඩි ගනිමින් ඇගේ වත්තට ඇතුළුවන්නෝ යලි ඉන් පිට වන්නේ සිංහයන් ලෙස පිමි ගසිමිනි.
ඒ හැරුණු විට ගෙදර අඹුවගේ හොදි මාළු අ⁣පුල වු මාටින් මුදලාලි වගේ පිරිමින්ට මැගිලින්ගේ අප්පල්ලෙන් මුදල් ගෙවා කෑම කෑ හැකිය.
මැගිලින්ගේ ගෙදර ප්‍රාණ භුක්තියට ගත් පිරිමියෙක් නැත.

ලැම්බර්ට් මල් කෑර කෝටුව කඩා ගත්තේ මැගිලින් වල් වැදි වත්තෙනි.

පොඩ්ඩේ යලිත් පිට අත ගැවේය.
එහි පිම්බි තිබු පළු එතරම් රිදුම් නොදුන්නද හිත තුල රිදුම තවමත් පහව ගොස් නැත.
හෙමිහිට මේසයේ ලාච්චුවලට අත දමා ඔහු සෙව්වේ එයයි..

"හරි"

කදුළු අතුරින් පොඩ්ඩේගේ මුවගට සිනහවක් නැඟිණි. හේ,
පර්මා ෂාප් බ්ලේඩ් තලය කොටස් හත අටකට කඩා, එවා කලිසම් සාක්කුවේ තැන්පත් කර ගත්තේය.

ලැම්බර්ට් කුස්සියේ වංගෙඩිය මත වාඩි වි තේ එකක් බොයි.
තව ටිකකින් ඔහු නාන ලිදට යාමට තුවාය ක⁣රේ දා ගනු ඇත.
වහ වහා නාන ලිද දෙසට අඩි කැඩු පොඩ්ඩේ නාන ලිද ඉස්පල්ලේ වු පුවක් ගස් දෙකම අත ගෑවේය...
 ලැම්බර්ට්ගේ පිට අතුල්ලාගන්නේ පුවක් ගසේ කඳෙනි.
එය මැදි ඇත්තේ ලැම්බර්ට් පිට ඇතිල්ලිම නිසාමය.

නාන්නට ගිය ලැම්බර්ට් යලි ආපිට ආවේ දරුණු ලෙස පිටේ වු කැපුම් තුවාල සහිතවය.
සීරියාවතී නාහල්ලේ තෙල් කුප්පිය අවසන් වෙනතෙක්ම ගැල්ලුවද ඒ තෙල් ප්‍රමාණවත් නොවිනි.

පොඩ්ඩේ කිටියා සමඟ සිනහ වෙමින් උන්නේය...
කිටියා උගේ බසින්
" අය්යා මං ඔක්කොම දැක්කා, කමක් නෑ හොද වැඩේ,
මාමා මං බත් ඩිංගක් ඉල්ලලා කකුලේ පැටැලෙන හැමදාකම පයින් ගහනවා,
ඒ හින්දා ඔයා කරපු දේ හොඳයි.."
කිවේය....

Saturday, October 27, 2018

ඇත්ත කතාවක් (ඉතිරිය)

ඇත්ත කතාවක් (ඉතිරිය)

ඇයට යාමට අදහසක් නැත. මුව නෙතු වල ඇත්තේ කිමට බොහෝ දේ ඇති බවය.
කාර්යාලය වටා නෙතු බමවමින් ඈ  හඬ අවදි කරා.........

සර් මගේ උපන් ගම කොළඔට කිට්ටුව.
මගේ ඉස්කෝලේ  එහේ,
රංගන හම්බ වුණේ කැම්පස් එකේ දී..
අපිට ගෙවල් වලින් කැමැත්ත දුන්නේ නැත්තේ කුල ප්‍රශ්නේ හින්දා.....
පස්සේ අපි හිතුමතේට බැන්දා .
කොළඹමයි පදිංචි වුණේ..
අපේ වැඩ අපිමයි කර ගත්තේ
ගෙවල් දෙකේම අම්මලා අපේ ගෙදරට ආවේ ගියේ නෑ.......
දුවත් බලාගෙන මගේ ජොබ් එක කර ගන්න පුළුවන් වුණේ එහේ ඩේ කෙයාර් තිබ්බ හින්දා.
දුව පොඩි කාලේ ඉදන්ම වැඩිය හිටියේ පිට අය ගාව......

ඇය ශෝබරව සුසුමක් පිට කලා..
"දුවව ඉස්කෝලේට දාන්නත් ලොකු ගාණක් ගියා.......
අපි ඉස්කෝලේට ත්‍රීවිල් එකක් අර දුන්නා"
"දුවට අනෙක් අයගේ අවධානය ලොකුවට ඕන.....
ගෙදර තනියම හැදුණු හින්දා වෙන්න ඕන..
ඒ වාගේම එයා ගොඩාක් ප්‍රශ්න අහනවා..
ඉස්කෝලේ ටිචර්ට මේ දෙකම වදයක් වෙලා තිබ්බේ සතයකට දෙකක⁣ට පාරක් එයා මට එන්න කියලා මේ ගැන කියනවා..
පස්සේ දවසක් දුවට පංතියේ චු ගිහින්..
මං යනකම්ම මුල්ලකට දාලා හිටියේ,
කොහොම හරි දවසක් දුව මගෙන් ඇහැව්වා
"පද්දෝ, පදු කෙල්ල"  කියන්නේ කාටද කියලා..
අනේ සර් මං කොහොමද එවා මේ පොඩි එකාට තේරුම් කරන්නේ.......
ඊට පස්සේ දුව උදේට බඩේගාය,
කකුළ රිදෙනවා වාගේ දේවල් කියන්න පටන් ගත්තා......
පස්සේ ඉස්කෝලේ යන්නම බෑ කියලා අඬන්න පටන් ගත්තා"

රෙස්සියා සිය පිරිවර සමඟ හැල්මේ පාසලට යාබඳව ඇති ලන්දට කඩාගෙන යන්නේ අදත් ඕලු මුවෙක් හෝ ඉත්තෑවෙක් හෝ තලගොයෙක් පැමිණ නිසා විය යුතුයි.
ගුණපාල මහත්මයා හර්ෂිගේ චින්තාපර මුහුණ දිහා බැලුවේ කතාව දිගටම කරගෙන යාම සදහා අනුබලයක් ලෙස
"ඉතිං " කියමින්.....

පස්සේ මායි රංගනයි එ⁣යාගේ නෑදෑ මනෝ වෛද්‍යවරයෙක්ව හම්බ වුණා.....

හර්ෂි සඳහන් කලේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් නමක්.

"එයා අපිත් එක්ක ගොඩාක් වෙලා කතා කරා.
රංගනලාගේ අම්මටයි තාත්තටයි දෙන්නටම කෝල් කරා......."

ඩොක්ටත් පුංචි කාලේ ඉගෙන ගෙන තියෙන්නේ ගමේ ඉස්කෝලේ ,
ඒ කියන්නේ මේ ඉස්කෝලේ ......
එයා රංගනට කිව්වා ගමට ගිහින් ළමයාව ගමේ ඉස්කෝලේට දාන්න කියලා....
ඒ පාර තමා මගේ ජොබ් එකෙන් අයින් වුණේ,.........

හැමදේම තියෙන කොට අගේ නැති, නැති කොට අගේ වෙන හැටි.....
ගුණපාල මහත්යට හිතුණේ එහෙම.

පසු දින උදැසන රැස්වීමේ හුන් හුරුබුහුටි දැරිය "මිනැසි" පාසල ප්‍රතික්ෂේප කල දැරිවිය බව ගුණපාල මහතා අඳුනා ගත්තා.
මේ පාසලේ මහ ලොකු ශිෂ්‍ය සංඛ්‍යාවක් නෑනේ.
ඉන්න හැම ළමයවම හැම ගුරුවරයෙක්ම අදුරනවා.
රෙස්සියා පවා අදුරනවා.
ඌ එක එක ළමයට බුරන්නෙත් එක එක තාල වලට......
මියුරුට බුරන්නේ සැරට.
මියුරු ඉතිං යමි එමි රෙස්සියාගේ නගුටවත් අදිනවානේ.

දවසින් දෙකින් මිනැසිගේ විපරම්කාරී නෙතු වලට පාසලේ පරිසරය හුරු වුණා.
දවසක් මිනැසි සහ යාළුවෝ ලොකු වැඩක්..
සමණල දඟයන්ට ගෙවල් හදනවා...
ගුණපාල මහත්මයාත් මිනැසිලාට සමණල ගේ හදන්න උදවු කරේ සිනහ වෙමින්..

පසු සටහන:-
මෙම දැරිය සිරිත් වු පරිද්දෙන්ම සිය ප්‍රාථමික අධ්‍යාපනය සතුටෙන් සහ සාර්ථකව නිමා කොට ,  සිය අභිමතය පරිදි ශාක සබැඳිව ඉහලට ඉගෙන මේ දිනවල වල් කෝවක්කා ශාකය පිළිබදව අධ්‍යයනය කරන්නේ ආචාර්ය උපාධිය සදහාය.

ගුණපාල මහතා එක් සිකුරාදා දිනක පිටවිමේ පොත අත්සන් කලේ යලි  "සදුදා" එමට නොහැකි වෙදැයි සිනහ වෙමිනි.
ඔහු එදින නින්දේ දී ම මිය ගොස් තිබු අතර ඉරිදා දින අවසන් කටයුතු සිදු කරන ලදී.


Saturday, October 20, 2018

ඇත්ත කතාවක්

ඇත්ත කතාවක්


ඇත්ත කතාවක්
වල්අඹ ගහ ගාව රිළා හඩට රෙක්සියාගේ තර්ජනාත්මක බිරුම් හඩත් එකතු වූණාම පැත්තම දෙදරන්න ගත්තා.
එත් එක්කම සිරිපාලගේ අවලාදත් එක්ක රෙක්සියා නගුටේ අමුඩ ගහගෙන දිගු පිමි වලින් දුවනවා කාර්යාලයේ ජනේලයෙන් ගුණපාල මහත්තයාට පෙනුනා. සිරිපාලව බලු පැන්නීල්ලට යොමු කරන්න ඇත්තේ සුමනා ටිචර් . සුමනා ටිචර්ගේ පංතිය තිබ්බේ ශාලාව කෙලවරේ වුණත් ඇය කතා කරන එවා ඔය යස අපුරුවට ඇහෙන්නේ.

සිරිපාල පාසලේ පියුං මහත්තයා. එයා ඉතිං කරන දෙයකුත් නෑ, නොකරන දෙයකුත් නෑ.
දැන් ඕං උදැල්ලකුත් කිහිලි ගන්නාගෙන තෙක්ක යාය පැත්තට යමින් හිටියේ නොරොක් කර ගත්ත මුණෙන්.

"සුබ උදැසනක්"
හදිසියේම වගේ කාර්යාලයේ දොරකඩ පහල වුණ අමුත්තා නිසා ගුණපාල මහත්තයා කරමින් හිටි වැඩය නැවැත්තුවා .
අමුත්තා කතා කලේ ඉංග්‍රීසියෙන්.....
ඔහු තමාව හදුන්වා දු⁣න්නේ රංගන පෙරේරා කියලා."

ගුණපාල මහත්තයා සංවාදය සිංහලට හරව ගත්තේ, ඔහු තමන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ගැන නිසැකවම දැන හිටිය නිසා.

"වාඩි වෙන්න මහත්තයෝ"
ගුණපාල මහත්මයා ආගන්තුකයාව පිරික්සමින් පුටුව පෙන්නුවා.

ආගන්තුකයා වයසින් අවුරුදු තිහක පමණ වුවෙක්. මනාව මදින ලද කලිසම සහ කමිසය වටිනා බව ගුණපාල මහත්මයාට හිතුණා. ඔහුගේ ටයි පින් එක රීදි වෙන්න ඕන........
තම ⁣පාසලේ වැඩි හරියක්ම හිටියේ එදිනෙදා වැඩ කරමින් දිවි ගෙවන දෙමාපියන් නිසා මේ දෙමාපියෙක් වෙන්න බෑරි බවයි ගුණපාල මහත්තයාගේ හිතට ආවේ.
ඒ වගේම සිය ඉහල නිලධාරින් සතුව මෙවැනි ආචාරශිලී බවක් නැතිබව සහ ඒ අය ගැන සිහිපත්විමෙන් ගුණපාල මහත්තයාගේ මුවගට මද හාසයකුත් නැගුණා.

"සර්, මං ආවේ මගේ දුවව මේ ඉස්කෝලේට දාගන්න පුළුවන් ද බලන්න.."

ආගන්තුකයා ගුණපාල මහත්තයාගේ චින්තාකුල සිත නිදහස් කරා.

" මාත් මේ ඉස්කෝලේම තමයි පහට වෙනකම් ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වේ පාස් වෙලා සෙන්ට්‍රල් ගියා"........
"දැන් RDA එකේ මධ්‍යම අධිවේගේ ප්‍රජේක්ට් ඉන්ජීනියර් කෙනෙක්.......

විනාඩි කිහිපයක කතා බහකින් අනතුරුව ආගන්තුකයා පාසල් කාර්යාලයෙන් බැහැර වුණේ කාර්යාලයේ මෙන්ම ගුණපාල මහත්මයාගේ හිත ඇතුලෙත් ප්‍රසන්න සුවදක් තවරමිනුයි.

ඉන්ටවල් එකට සීනුව ගහලා සිරිපාල ඔපිස් එකේ හොරගල් අහුලන්න ගන්නකොට ගුණපාල මහත්තයාට හිතුණේ
" මේ යකාට ණයක් ඉල්ල ගන්න වාගෙයි" කියලයි.

"සර්, ඔය ආපු මහත්තයලා ඉන්නේ අපේ ගෙවල් ගාව"

"ඉතිං"
ගුණපාල මහත්තයා ⁣ටීවී ප්‍රවෘත්ති බලන එකත් නවත්තලා අවුරුදු ගාණක් වෙනවා.

"දැන් ටෙලිවිෂන් වල ප්‍රවෘත්ති නෙමෙයි, ඕපාදූප දාන්නේ"

ගුණපාල මහත්තයා හාමිනේට කිව්වේ එහෙමයි.

"සර් ,..........
එයාලා හිටියේ කොළඹ , 
කොළඹ නෝනෙක්ව කසාද බැන්දේ "
කැම්පස් එකේදී යාළු වෙච්ච කෙනෙක්, මෙහෙන් කැමැති වුණේ නැහැ..
ඒ නෝනාලා අඩුකුලේ"

"සිරිපාල, මං කිව්වා නේද ඉන්ටවල් එකේදි ඔයා ඉන්න ඕනේ සෙල්ලම් මිදුලේ කියලා,
හා හරි.......
කතාව පස්සේ කියමු,
දැන් යමු සෙල්ලම් මිදුලට....."

ගුණපාල මහත්තයාත් කාර්යාලයෙන් එලියට ඇවිත් සෙල්ලම් මිදුල පැත්තට ගියා.
පැංචෝ, පැංචියෝ තමන්ට ලැබුණු විනාඩි විස්සේ විවේකය යහමින් විඳිමින් උන්නා.

දින ගණනක ඇවැමෙන් පැහැබර කාන්තාවක් ගුණපාල මහතා හමු විමට පැමිණියා.
ඒ රංගන මහතාගේ බිරිඳ.
හර්ෂි..........

"සර් දුවගේ අස්විම් සහතික ගෙනාවා.....අපි සතියකට කලින් කතා කරා මේ ගැන."

ඇය දෝතින්ම ලිපි ගොණුවක් පැවා.
ගුණපාල මහතා ටිකක් විපිළිසර වුණේ,
ඉගෙනුම ලැබු පාසල තීරයේ සටහන් ව තිබු පාසල දැකීමෙන්.
එය බස්නාහිර පළාතේ ප්‍රකට පාසලක්.
ඒ පාසලට සිය දරුවාව ඇතුලත් කර ගැනීමට දෙමාපියන්ගේ සිහිනයක්.

"හොඳයි, ගෙනත් තියෙනවද දරුවාගේ පංතියේ පොත් එහෙම........"

ඇය වහා පොත් ගොන්නක්ම දිගු කලා.
පොත තුල වු කිසිවක් ගුරුවරයාගේ නිරීක්ෂණයට හසුව නැති බවයි පෙණුනේ.
ඉදහිටකවත් ගුරුවරයාගේ පෑන් සලකුණු එහි සටහන්ව තිබුණේ නැහැ.

"හොදයි, එහෙමනම් අපි හෙට ඉදන් දරුවාව ඉස්කෝලේට ගෙමු.

⁣ඉතිරිය ඉදිරියට............

Tuesday, October 9, 2018

ඒ පොල් ගහක්

ඉස්කෝලේ ,
කාට කාටත් ඉස්කෝලේ ගැන මතකයන් වගේම මතයනුත් තියෙනවා.
සමහර අය තමන්ගේ ඉස්කෝලේ ගැන මතක් කරන්නේ කෝපිමල්, සේපාලිකා මල් සුවඳක් තවරමින්.
ඒත් තවත් අයට ඒ ගැන තියෙන්නේ පිළිකුලක්,
ඉස්කෝලේට හා හා පුරා කියලා එන පැංචෝ පැංචියෝ හරි දොඩමළුයි.
කියන සුනගුවෙන් නටනවා ගයනවා.
එත් ටිකෙන් ටික උස් මහත් වෙද්දී ඒ හැමදේ හොරු ගෙනියනවා ( අපේ ඉස්කෝලේ ද මං දා මේ හොරකම කරන්නේ)
දහයේ දොළහේ පංතිවල ඉන්න නාඹර සිසු සිසුවියන්ගෙන් ප්‍රශ්නයක් ඇහැව්වොත් දන්න  දෙයක්වත් කියන්නේ එහෙමත් කෙනෙක්.

ට්‍රික්ෂි ටිචර්ගේ පංතිය තුන. ඈ නවක ගුරුවරියක් වුණාට තමන්ට පැවරුණු කාර්ය කරේ හරිම කැමැත්තෙන්.
සමහර වැඩිමහල් ගුරුවරියෝ අැයට ඒක මේක කීවේ ඇය හොඳ ලස්සණට පිළිවෙලට ඇදලා, කරලා ඉන්න හින්දා.
ඒත් ට්‍රික්ෂි ඔය කතා අල කොලේට වැටුණු වතුර බිංදු ගානට නොසලකා හැරියා.
ට්‍රික්ෂි ටිචර් හැම තිස්සේම වාගේ උගන්වනවාට වඩා ඉගෙන ගන්න දෙන්නයි උත්සහ කලේ.

එදත් ඈ ගහකොළ පාඩම කරන්න එළිමහනේ දඹ ගහ හෙවනට තමන්ගේ පැටවු ටික එක්ක ගියේ , පැටවු ටික ඇන්න කෝ කෝ කෑම කියා යන මහ කිකිළියක් වගෙයි.

ළමයි ටිකට  රවුමක් හැදෙන්න කියු ටිචර්,

"දැන් ඔයාලා ගස්, අපේ වටපිටාවේ තියෙන ගස් "

ඇය තමන්ගේ ළමයි ටික ගස් කරා.

"ලමයි ඔයාලා කවුද"?.......ඇහැව්වා

"ගා.....අ..ස්"
ළමයි ටික උත්තර දිපු සද්දෙට දඔ ගහේ කොළත් හෙලවුණා

"හොදයි.........
එහෙනම් ඔන්න දැන් හුළඟක් එනවා...
ඔයාලා දැකලා ඇතිනේ හුළ හමනවා
ෂ් ....ස් ....ශ්"

ටිචර්ගේ කටෙන් පටන් ගත්තු හුළගට ළමයි ගස් ඇඹරෙන්න පටන්  ගත්තා...
එහෙමත් හුළගක්😀
එහෙමත් ඇඹරෙන ගස් ගොම්මනක්.
ආ.......
ඩිලාන් විතරක් පැද්දෙනවා දැක්ක ටිචර්ගේ මුව ඇස් තවත් විශාල වුණා.
මොකද දෙය්යනේ මේ කොල්ලට වෙලා තියෙන්නේ යන ප්‍රශ්න⁣ය හිත රදවගෙන ට්‍රික්ෂි ටිචර් ඩිලාන් ගාවට ළං වුනා.

"ඩිලාන්......."
" මොකද මේ ......"
" හුළඟ සැර මදිද".....
ට්‍රික්ෂි ටිචර් ඇහැව්වේ හිනා කටෙන්...
"ආ........ නෑ....... ටීචර් ....
මං මේ පොල් ගහක්නේ"
ඩිලාන් උත්තරයත් එක්ක
ට්‍රික්ෂි ටිචර්ගේ හිනාව කටෙන් ඇස් වලටයි,
එතැනින් ඔළුව දක්වාම දිව්වා.

Sunday, September 30, 2018

අපුරු පාඩම

#ටකොස් ටොකොස් හඩ නිසා දහයේ පංතියේ ලමයි හැරුණා.
මොණර පිලේ වර්ණ තැවරුණ සාරියක් ඇදගත් අයෙක් පංතියේ පිල හරහා කාර්යාලයට යමින් හුන්නා.
වර්ෂාවෙන් පසුව පාසල් මිදුලේ තැන තැන වතුර කඩිති.
ඒ මඟ අරවා ගන්නයි ආගන්තුක යුවතිය පිල ඔස්සේ ගියේ.
ඇගේ මුහුණ මත අප්‍රසාදයක ලකුණු සිත්තම් වෙලා.

කාර්යාලයේ වැල් කැඩුණු, කකුළ ලණුවකින් පුරුද්දාපු පුටුවේ විදුහල්පතිවරයාවන කේ. බී මහත්තයා ආසනාරුඪව හුන්නා.
ඔහුගේ ඇදුම දැකපු ආගන්තුක යුවතියගේ මුහුණ මතට තව තවත්  අපුල එක් රොක් වුණා.

ට්‍රික්ෂි අද පාවරවැව ඉස්කොලේට ආවේ තමන්ගේ රැකියාවේ මුල් දවසේ, මුල්ම ඉස්කෝලේ වැඩ භාර ගන්න.
ඇය කෘෂිකර්මය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදරලා තිබ්බා.
නගරයේ ඉස්කෝලේයකට පත්විම හදා ගන්න දන්න තරම් දහිරිය දැම්මාට එක වැඩක් වුණේ නැහැ.
අවසානයේ දී සිතෙන් නොසිතෙන් හද්දා පිටිසරක තිබ්බ පාවරවැව මහ විද්යාලේ කෘෂිකර්ම ගුරුවරිය විදිහට ඇයට එන්ට සිද්ධ වුණා.

කේ. බී මහත්තයා කියන්නේ සිංහල පුහුණු ගුරුවරයෙක් විදිහට සේවය අරඹලා හැකියාව හින්දම විදුහල්පති සේවයට එක්වුණු කෙනෙක්.
සකස්කඩේ, අමාවතුර,  බුත්සරණේ කටපාඩම් නැතත් ඕන තැන්වලදී උපුටා දක්වන හැකියාව තිබුණා.

කේ. බී මහත්තයා වගේ කෙනෙක් විදුහල්පති විදිහට ට්‍රික්ෂි බලාපොරොත්තු වුණේම නැහැ.
ඒ හින්දා ආඩම්බර ස්වරයකින්

"මහත්තයා,
මං ...........එකේ ඩිප් එක කරලා
ආපු ටිචර් කෙනෙක්"

යන හැඳින්විමක් එක්ක සිය පත්විමේ ලිපිය කේ.බී මහත්තයාට දිග් කරා.
බෝතල් මුඩි කණ්නාඩි කුට්ටම යටින් ඇගේ මුහුණ බලපු ගමන් කේ.බී මහත්තයාගේ නිතර තියෙන හිනාව ඇදුණා.......

"ආ........
හොඳමයි නෝන මහත්මයා ,
හරිම සතුටුයි"

ඉතා ඉක්මණින් ලේඛණ කටයුතු හමාර කල කේ. බී මහතා නවක ගුරුවර ගුරුවරියන්ට පිරිනමන මුලික උපදෙස් දෙන්න සිය හම ගැහුණු හිත් මල්ල ඇරියත්,
ට්‍රික්ෂිගේ මානභරිත වතකමල හමුවේ ඒ සියල්ල යලි හිත් මල්ලටම සුරැකිව දමා අගුළු දැම්මේ, බොහොම ප්‍රසන්න හිනාවක් මුව දවටාන.

"එහෙමන මිස්, දැන් බෙල් එකට දහයේ පංතියට යන්න......."
එකට තියෙන්නේ කෘෂිකර්මය ...
⁣හැමෝම කරන්නේ කෘෂිකර්මයම තමයි..
එතක අර කොනේ තියෙන ස්ටාප් කාමරෙන් ඉන්න......."

පිටිසරබද පාසලක් වුණාට පාවරවැව ඉස්කෝලේ බොහොම පිලිවෙලට තිබ්බා.
පංති කාමර ඉස්සරහ දාස් පෙතිය මල් පාත්ති,
තැන් තැන්වල වතුසුද්ද පදුරු.
එත් ට්‍රික්ෂි මිස් ඒ අතරින් බැලුවේ මායිමේ තිබ්බ රක්ෂිතය දිහාවේ..
ඒ අසලින් දිවෙන මඩ වෙච්ච බොරොළු පාර දිහාවේ.

බැල් එක ගහනවාත් එක්ක ට්‍රික්ෂි උඩින් උඩින් පංතියට ගියා.
ලමයි ඔක්කොම නැගිට්ටාම ට්‍රික්ෂිගේ හිතට පොඩි ආඩම්බරකමකුත් කාන්දු වුණා.

"දැන් මොනවද තමුසේලාට තියෙන්නේ"

ළමයින්ට මේ ඇමතුම නම් නුහුරුයි.
ඇයි ඉතිං අනෙක් ගුරුවරු කවුරුත් කතා කරන්නේ පැංචෝ, දරුවෝ, පුතේ , දුවේ කියලනේ,
හෝමාගමින් ආපු ඉංග්‍රීසි සර් නම් ඩියර් කියලා කතා කරන්නේ......
සර් ගමට ගිහිං එද්දී ඇපල් වාගේ නුහුරු මොනවා හරි අරගෙන ඇවිත් හැම දරුවෙක්ටම දෙනවා.
ඉතිං සර් ගම යන දවසට කෝන් කාලේ කෝන්,
දඹ කාලේ නම් දඔ.......
නෙළුම් බට්ටෝ ඔය මොන මොනවා හරි  කොළු කුරුට්ටෝ ගෙනත් ගුරු නිවාසේ ගොඩ කරනවා

ටිකක් වෙලා පංතියම නිහඬ වුණත් ඒ නිහඬ බව බින්දේ ට්‍රික්ෂිමයි....

"ඇයි තමුසෙලාගේ කණ් ඇහෙන්නේ නැද්ද?"

පංතියේ කෙලවර වුන් හින්දැරි සුමනායි උත්තර බැන්දේ........

"කෘෂිකර්මය ටිචර්"

"මේ මතක තියාගන්නවා මට කතා කරද්දී මැඩම් කියනවා......
අනෙක කෘෂිකර්මය නෙමේ මම උගන්වන්නේ කෘෂිවිද්‍යාව
මට එකට ඩිප්ලෝමා එකක් තියෙනවා"

"කෝ තමුසෙලාගේ ෆිල්ඩ් එක බලන්ඩ යං"
තාමත් ට්‍රික්ෂිගේ අපුල මුසු බැලුම් දහරාවේ අඩුවක් නැහැ..

ගුණපාල පංතියේ නායකයා......
ඔහු පංතියේ අයගේ පෙරමුණ ගත්තා.
පේලියට ඔවුන් වගාබිමට ගියා.
මුලින්ම තිබ්බේ පතෝල මැස්සක්..
පතෝල පැංචිවල අග ගලක් එල්ලලා..

"කවුද මේවායේ ගල් එල්ලුවේ, ගලවනවා මේවා........

ට්‍රික්ෂිගේ විධානයට ප්‍රතිචාර දැක්කුවේ ගුණපාල......

"මැඩම් එහෙම ගල් එල්ලුවේ නැත්ත පතෝල කරල ඇද ගහනවා, කරංගැටි වෙනවා...
එකයි ගල් එල්ලුවේ...."


පතෝල පාත්තියට පස්සේ තිබ්⁣බේ මිරිස් පාත්ති........
එකට කෝඩ රෝගේ ඇවිත්......
කරල් කරංගෑටි ගැහිගෙන එනවා ...

"ළමයි මේ මිරිස් කරල් නැමිගෙන එනවා..
එල්ලනවා මේවාටත් ගල්"

ට්‍රික්ෂි ඉක්මණින් පිලියමක් යෝජනා කලත්
ලමයින් සිය මුව මුවා කරමින් නිහඩවම සිනාවෙන්නට වුණා.

Sunday, September 16, 2018

මව්බිම

මව්බිම
*********
ගුණපාල ඉස්කෝලේ මහත්තයාගෙයි සුමනාවතී ඉස්කෝලේ නෝනගෙයි එකම පුත්තරයා චන්දරපාල.
කොල්ලාට දැන් වයස හතක් අටක් විතර ඇති.
ඒ වුනාට ඉතිං කුනු හබ්බ කියන්නේ කටේ තොලේ ගැවෙන්නේ නැතු
ව......
කිප දවසක්ම කොල්ලා දෙන්නාගේ සායම ඇරියා.........
දෙන්නත් එක්ක කතා කරන වාරයක් පාසා මේ ආරෝව ගැන කතා කෙරුවා.....
ආයේ ඉතිං සුමනාවතී ඉස්කෝලේ හාමිනේවත් ගුණපාල මහත්තයාවත් සැර පරුෂ මනුස්සයෝ නෙමේ......
ගමේ පංසලේ ලොකු උන්නාන්සේ ගුණපාලට අෑතින් නෑදෑ අය්යෙක්.....
පණ්ඩිත විභාග එහෙම කරපු හාමුදුරුවෝ .
ඉතිං මේ අවනඩුව අහලා හාමුදුරුවෝම යෝජනා කලා සතියක් හමාරක් පංසලේ පොඩි උන්නාන්සේලා එක්ක නතර කරන්න කියලා.
එකම කොල්ලා උනාට ඉතිං වෙන කොරන්නත් දෙයක් නැති තැන දෙන්නා කැමති වුණා...
දැන් ඉතිං කොල්ලා පංසලේ.....
කොහොමින් හරි සතියක් හමාරක් පහුවුණා...
කොල්ලාගේ සෑහෙන වෙනසක් පෙන්න ගත්තා......
ජෝඩුවටම හරිම සතුටුයි .
ගුණපාල මහත්තයා කල්පනා කලා කොල්ලව ආපිට එක්ක යන්න..
දෙන්නම ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ට කන පිරෙන්න ස්තුති කල්ලා එහෙම පුත්තරයත් එක්ක තැපැල් නයින්ටියට නැග්ගා.
ගුණපාල මහත්තයානේ පදවන්නේ.
මැද්දේ කොල්ලා, පස්සෙම සුමනාවතී නෝනා.

ඔය පංසලේ ඉදං ගුණපාල මහත්තයාගේ ගෙදරට යන පාර ගන්න දෙයක් නෑ.
අලි නිදියන වලවල්.
කොහොම වෙට්ටු දැම්මත් වලක..

"පියාණනි, මව්බිම"
ඔය අතරේ කොල්ලා කෙදුරුවා..
"හා ඔව් පුතේ ලංකාවනේ"
ගුණපාල කිව්වා,

"පියාණනි මව්බිම"

ඒ පාර කොල්ලාගේ හඩ ටිකක් සැරයි.
ගුණපාල ඉතිහාසයක් උගන්වනවානේ ..
ඉතිං යමි ගමන් කොල්ලට ලංකා ඉතිහාසය ගැන කියන්න පටන් ගත්තා......
ඒ පාර ඇලපතට ඇන්න කොල්ලා,

"බොල  හු............... පුතෝ
ආන් තොගේ ගැණි වැටුණා."

මහ හය්යෙන් බෙරිහන් දී කිව්වා

Monday, September 10, 2018

පිය සමර

අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලෙ , මිනි කාමරේට පිටිපස්සේ තිබ්බ ගුරු පාර දෙපැත්තේ යායට ඉබ්බං  ගස් සාරේට හැදිලා තිබ්බා.

ඒ පාර විහිදුනේ කෝටස් වලට.
අපි එහෙමයි කිව්වේ....
කෝටස් කිව්වේ ඉස්පිරිතාලේ සුළු සේවකයන්ගේ නිවාස.
දිග එක නිවාස සංකිර්ණයක ඇදු ගෙවල් දෙකක් තිබ්බා.
එහෙම තිබ්බ නිවාස ගාන දැන් නම් මතක් කර ගන්නවත් අමාරුයි.
එක ගෙදරකට කාමර දෙකකයි .
පොඩි ශාලයකුයි කුස්සියකුය් තිබ්බේ.

පිටිපස්සේ තිබ්බ වැසිකිළිය😱
එකේ වලේ බාල්දියක්නේ තිබ්බේ.
පෙරැමාල් හැමදාම උදේට ඇවිත් එකේ එකතු වෙලා තිබ්බ දේවල් වැසිකිලිය ඉස්සරහ තිබ්බ වලට දාලා වතුර ගහනවා.
එතනින් පස්සේ මල්ලීගෙයි මගෙයි සෙල්ලම් ගේ එක.
අම්මා කොච්චර පැන්නුවත් අපිට එකට නොගිහින් ඉන්න පුළුවන් වුනේ නැහැ.

තාත්තා ඉස්පිරිතාලේ වාට්ටු කම්කරු..
මං නම් හිතාන හිටියේ එයා තමා එකේ ලොක්කා කියලා........

උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.


තාත්තත් එක්ක හතරේ වාට්ටුවට ගියාම දැක්ක දොස්තර දාගෙන හිටපු නලාවට මට ආසා හිතුණා.
එයා ඇදගෙන හිටියේ තාත්තා වගේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි නෙමේ.
සිවනේෂන් දෙස්තර මහත්තයා සාක්කුවේ දාගෙන හිටපු නලාව මං දවසක් හොරෙන්ම ගන්න කොට එයා එක දැක්කා......
හිනා වෙලා ඔලුව අතගාලා
"පුතා ලොකු වෙලා මේකක් ගන්න"
කීවේ නුපුරුදු සිංහලෙන්.....
රංබණ්ඩා මාමයි, හේමා නැන්දයි මේක දැකලා හිනා වුණා..
තාත්තා මාව වඩාගෙන ප
"පුතා හොදට ඉගෙන ගත්තොත් ඔය නලාවක් දාගෙන මේ ඉස්පිරිතාලේට එන්න පුළුවන්"
ඒ කියන වේලාවේ තාත්තාගේ ඇස් දෙක මට දැණුත් මතක් වෙනවා.

තාත්තා ඒ දවස් වල සාමාන්‍ය පෙල ගණිතයට ගණ හැදුවා.
ඉස්තෝප්පු කෑල්ලේ පැදුරක් දාගෙන මුණිතලාවෙලා ගණ හදනකොට මල්ලීයි මායි, පිටේ නගිනවා.....
අම්මා ඇවිත් අපි දෙන්නව ඇදගෙන හිහින් එළියට දානවා.


පස්සේ තාත්තා කොළඹ NTS එකට ගියේ අම්මාවයි , මල්ලීවයි ආච්චිලාගේ ගෙදර නවත්තලා.........
මම බටුවත්තේ ලොකු අම්මාලාගේ ගෙදර ගියේ ඉස්කෝලේ යන්න........


සාමාන්‍ය පෙල පංතියට යද්දී ලොකුවට හිටි තාත්තා පොඩි වෙන්න ගත්තා......
එයා දන්නේ මොනවද?
කියන දේවල් වලට එරෙහිව කතා කරේ ඒ හින්දයි.

කාලය ගත වෙද්දී , මාත් පියෙක් වුණා...
හැබැයි ඒ වෙනකොට තාත්තා ආයෙම ලොකු වෙන්න පටන් අරං........

පහලම තැනින් පටං අර සෑහෙන දුරක් ගිය කෙනෙක් කියන එක ඒ වෙද්දී තේරුණා.
ආකාලයේ හදිසි අනතුරකින් වියෝවුණත් ,
දැන් දන්නවා එතුමා කෙතරම් ධෛර්‍යවන්තයෙක්ද කියන එක.
ඔහු බලාන උන්නේ මම වෛද්‍යවරයෙක් වෙලා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට යාවි කියලා........
එක ඉටු නොවුණත් අද ඉන්න තැනට එන්න හය්ය ලැබුණු විදිහ දැනුයි තේරෙන්නේ.

අද මම මගේ පුතා දිහා බලලා සතුටු වෙන විදිහට ඔහුත් සතුටු වෙන්න ඇති.

Sunday, September 9, 2018

ගුණපාල ගිය මඟුල

"ගුණපාලාආ........"
ඩස්ට් බීන් එක අරං යමින් උන්න ගුණපාල සැනෙන් යු ටර්න් එකකින් ගමන් දිශාව වෙනස් කලා.
ලොකු සර්ගේ සීතල කාමරේ ඇතුලේ තුල්ෂි නෝනාත් ඉන්නවා.
කොහොමටත් තුල්ෂි මිස් වැඩි කාලයක් ඉන්නේ ඒ කාමරේ අතුලෙනේ.
තුල්ෂි ආයතනයේ පරිගණක යෙදවුමි ශිල්පිනිය .
ගුණපාල නිකම්ම නික කාර්යාල සහායක.
පියන්.......
අනිත් අයට නම් නියමිත වැඩක් තිබුණට ගුණපාලට එහෙම එකක් නැහැ.
කරන වැඩ කොලයක ලිව්වොත් හාෆ්ෂිට් කොලයකුත් මදි වෙයි.

"අා ගුණපාල.........
ඉස්සරහ ස්නැක් එකෙන් ජුෂ් දෙකක් අරං එනවා......."
  ගුණපාල දවසකට කිලෝමිටර් හය හතක් ඔපිසියේම ඇවිදිනවා .
ඇයි ඉතිං ඉන්න හැමෝගේම වුවමනා එපාකම් පිරිමහන්න එපායැ.
වැඩක් නැති වේලාවට ඔපිස් එක එලියේ මල් ජාති එළවළු එහෙමත් හැදුවේ ගුණපාලම තමයි........
වෙන ඔපිස් වලට වඩා ලකේට මේ ඔපිසිය තියෙන්න හේතුවත් ගුණපාලම තමයි.
දවසට හය හත් වතාවත් අතුගාලා මොබ් කරලා කිරි කිරි පොළවේ යන්න නෝනාලාට, මැඩම්ලාට, මිස්ලාට පුළුවන් වුණේ ගුණපාල හින්දයි.

කළු විදුරුවට ගුණපාල මුදුගිල්ලේ සුදු යකඩ මුද්දෙන් තට්ටු කරා....
ටිකිස් ටක ටුකුස් සද්දෙට
තඩ් ගාලා කකුල් පො⁣ලාවේ වදින සද්දයක් එකතු වුණා....
එනවා ගුණපාල
ලොකු සර් ටියුඩර්ට ගුණපාලගේ තට්ටුව හුරුයි.
තමුසේ ඉක්මණට ආවා නේද?
තුල්ෂි නෝනා කට පිහිදමින් ඉස්සරහ පුටුවට ආවා.
"ආ මේ ෆයිල් ටික මිස්ට කරුණාරත්නට දෙනවා"
තුල්ෂි මිස් බ්ලවුස් එක පහලට අදිමින් ඇදුම පිලිවෙල කරනවා....

එතකොට තුෂි.... ඔෆිස් එකේ ඔක්කොටම වෙඩිං එක කියනවාද........

ගුණපාලගේ පස්සෙන් එහෙම ඇහුණා..

ආහ්...
තුල්ෂි ම්ස් බඳිනවා එහෙනම්..
කොයි එක්කෙනාවද දන්නේ නැහැ.
ගුණපාලට තුල්ෂි මිස් එක්ක යන මහත්තුරු එක එක්කෙනා මතකයට ආවා.......


හවස තේ බොන වේලාවට සුමනත් එක්ක කාර්යාලයේ දවසේ තොරතුරු හුවමාරු කර ගන්න එක ගුණපාලගේ පුරුද්ද.
මේ ආරංචියට සුමනාගේ වටකුරු ඇස් තවත්  වටකුරු වුණා...
ඇයි ඉතිං තුල්ෂි මිස්ගේ වග විස්තර සුමනාට අරුමයක් නෙමෙයිනේ.


සතියකට හමාරකට පස්සේ සුවඳ ගහන අරුමෝසම් වෙඩිං කාඩ් එකක් ගුණපාලටත් ලැබුණා .
එතනින් පස්සේ ඔපිසියේ මිස්ලා, සර්ලා වෙඩිමට යන එක ගැන බොහොම සාරසුබාවට කතිකා කරනව ගුණපාලට ඇහුණා.
මිස්ලා හැමෝම හැඩ වෙන්න ජනප්‍රිය ටෙලි නිළි ,
වේස් ගැන්විමේ ශිල්පිනියක්ව වෙන් කරගෙන තිබුණා ..

සුමනා නම් වැඩේට පස්ස ගැහැව්වේ එක එක හේතු කාරණා ඉදිරිපත් කරමින්.
එත් ඉතිං එකට වැඩ කරන කෙනෙක්ගේ මඟුලට නොයා කොහොමද?
ගෙදර වැඩ ඉවර කර ගන්නය කියලා පොතේ තිබ්බ සෑහෙන ගණනක් ගුණපාල ආපිට ගත්තා.
හන්දියේ නිපොන් එකෙන් ලා නිල්පාට මල් ඉහිරුණ සාරිය......
එක තේරුවේ ගුණපාල
ගත්තු සල්ලි වලින් දහදාහක්ම සුදුපාට ලියු කවරේ ඇතුලේ.
එකේ මතුපිට
A.M.Gunapala කියලා ලිව්වේ වැල් අකුරෙන්.
ගුණපාල බාහිර උපාධිය කලේ විශ්ව විද්‍යාලේ යන්න ලකුණු මදි වුණ හින්දා නෙමේ.
පොඩ්ඩි උසස් පෙළ කරන්න පටන් ගත්තු හින්දා එකට වියදම් හොයන්න,
ගුණපාල නානාගේ කඩේ බඩු කිරන්න ගියපු හින්දයි .
ගුණපාලගේ මෙට් එක නානා ප්‍රකාර වාහන පෝලිමේ කෙලවරක නැවැත්තුවා.
ඔපිස් ⁣එකේ මිස්ලා හැමෝම එක වගෙයි.
මුණු නික වෙස් මුණු වගෙයි.
හෝටලේට ගියාට පිළිගන්න කවුරුත් නැහැ.
පාට බීම එකක් කොණ්ඩේ පාට කරපු කොල්ලෙක් හැමෝටම බෙදුවා.
කොනේම තිබුණු මේසයක සුමනත් එක්ක ගුණපාල වාඩි වුණා.
දෙදරන සංගීතයට ආපු හැමෝම වගේ නටනවා......
තඩි ඇඟවල් සලිත වෙන එක නම් බලන්නත් හිරිකිතයි.
බුෆේ එකේ කෑම හරිම ලස්සණයි .
දෙන්නත් එක්ක පිගන් දෙකකට බෙදා ගත්තු කෑම මොනවාද කියලා බෝර්ඩ් වල නම් නම් ගහලා තිබ්බා...
පලමු කට කනවත් එක්ක සුමනාගේ කට ඇඹුල් වුණා.
ගුණපාල දිහාට නැඹුරු වෙලා...

"අනේ ගුණේ මේ කෑම වල ලුණු ඇඹුල් මොනවත් නෑනේ...."
මට නම් මේවා කන්න බෑ......

සුමනා හදන කෑම වල සුවඳ එක්ක ලණුවක් වුණත් කන්න පුළුවන් .
ටිකකින් ගුණපාලටත් සුමනාගේ කතාව පසක් වුණා.

කෑවයින්⁣ නොකෑවයින් දෙන්නත් එක්ක ජෝඩුවට කතා කරන්න ගියා.
එතන දිග පෝලිම,
පොටෝ ගහනවා.
සුමනා පස්සට ඇද්දා

"ගුණේ ඔයා ගිහිං ලියු කවරේ දිලා එන්නකෝ."

ගුණපාල සුමනට කිකරු වුණා.
එහෙ මෙහේ රිංගාන ගිහිං තුල්ෂි නෝනට ලියු කවරේ දුන්නා.

"තැන්කු ගුණේ......"

කවරේ අර තුල්ෂි ලග හිටපු ටයිකෝට් කාරයෙක්ට කතා කරන්න හැරුණා.
මනමාලයට ගුණපාල කවුදැයි කීවේත් නැහැ.


"ත්‍රී ස්ටාර්" එක ඉස්සරහ ගුණපාලගේ මේට් එක තිබුණේ පැයකට විතර පස්සේ.
එකේ වේටර්ලා හැමෝම ගුණපාලගේ ගජයෝ.
සුමනයි ගුණපාලයි ⁣වාඩි වෙන්නත් කලින් කඩේ මුදලාලි , තාරික් නානා
"අපේ ගුණේ මල්ලීට ඉස්පැෂල් රයිස් එකක් දාන්න"
 රයිස් සෝමේට අණ දුන්නා

Friday, September 7, 2018

විශාදය

~~…•°•…විශාදය~~…•°•°•…
සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.

ලංකාවේ සමාජය තුල මානසික රෝග පිළිබඳව ඇති අවබෝධය සතුටුදායක මට්ටමට තවමත් පැමිණ නෑ.
මානසික රෝගියෙක් සිටීම පවුලටම නින්දාවක් ලෙස සැලකෙන අතර ඔවුන් “පිස්සන්” ලෙස හංවඩු ගසා සමාජයෙන් කොන් කිරීම සුලභව දැකිය හැක. විශාදය යනු මානසික රෝගී තත්වයක් බව පිළිගැනීමටද ඔවුන් කැමති නෑ. මේ නිසා විශාදය ප්‍රමුඛ මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

විභාග අසමත් වීම, විරහව, සමිපතමයෙකුගේ වියෝව, ගෘහස්ත හිංසනය, අනපේක්ෂිත මුල්‍ය පාඩු වැනි අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට අප සියල්ලන් මුහුණ දෙන අතර මේ දුක කාලයත් සමග පහව යයි. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර මානසික සෞඛ්‍ය ගැටළුවක් ලෙස නොසැලකිය යුතුය.

කෙසේ නමුත් එවැනි සිද්ධි නිසා ඇතිවන ශෝකී බව දිගටම පැවතීමෙන් එය විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.


විශාදය ඇති වීමට හේතු සමහරක් පහත දැක්වේ.
*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)

විශාදය බොහෝ විට සුව කල හැකි අතර  මුල් අවස්ථාවේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක. විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දීමද සිදු වේ. තත්වය උත්සන්න වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.

විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පුරා වුව පැවතිය හැකි අතර වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රෝගය පාලනය වූ පසුව මාස 4-6ක් පමණ යනතුරු ප්‍රතිකාර ලබා දෙයි. නැවත්වීමෙන් පසු 30% කට නැවත විශාදය ඇති වීමේ අවධානමක් පවතින නිසා වෛද්‍යවරයා සමග නිතර සම්බන්ධතා පවත්වාගැනීම ඉතා වැදගත්. එලෙස නැවත විශාදය වැළඳුන අය සහ එවැනි අවධානමක් ඇති අය සඳහා මාස 6-24 දක්වා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙය රෝගයේ තත්වය අනුව වෙනස් වේ.

කෙසේ නමුත් විශාදය මැඩලීමේ විශාලම ගැටලුව වන්නේ සමාජ ආකල්ප, විශාදය පිලිබඳ අනවබෝධය නිසා  මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැලි වීම හේතුවෙන් විශාද තත්වය උත්සන්න වී රැකියා අහිමි වීම, පවුල් ප්‍රශ්න ඇති වීමට, කායික රෝගී තත්ව උත්සන්න වීම හා සිය දිවි නසා ගැනීමට පවා සමහරු යොමු වීමයි.

විශාදයේ  ප්‍රධාන ලක්ෂණ 3කි.
*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම
මීට අමතරව පහත උප ලක්ෂණ  විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.
*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම
***ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක්  ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත්. ***
විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමිපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.

විශාදය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා ගමු.
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වේ තවද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු විය හැක.

මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් සහ යෞවන සමාජ, පාසල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස ඉලක්ක කරගෙන මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.


ඔබත් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් කළ යුතු දේ
*මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
*විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න.
*ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න.
*මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. විශාදය උත්සන්න කිරීමට මත්පැන් හේතු වේ.
*ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න.
*නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න.
*එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.

*පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. (ඔවුන් ඔබේ තත්වය ගැන දැනුවත් වීම සහ ඔබට ඇහුන්කන් දීම ඉතා වැදගත්.)
*මානසික සුවය සඳහා භාවනා කරන්න.
*ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
*සිය දිවි නසා ගැනීමට සිතේ නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හෝ සුමිත්‍රයෝ සේවාව 011 269 2909 / CCC පදනම 1333 අමතන්න.



ඔබේ පවුලේ කෙනෙක්, මිතුරෙක් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් ඔබ කල හැක්කේ මොනවාද?
විශාද තත්වයෙන් පීඩා විඳින අය අන් අයව නුරුස්සන නිසා ඔවුන් වෙත ලඟා වීම අපහසු විය හැක. තමන්ට මානසික රෝගී තත්වයක් ඇති බව පිළිගැනීමට ඔවුන් මැලි විය හැක.

*නිවැරදි මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව යොමු කරන්න.
*ඔවුන්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරන්න.
*ඔවුන්ට ඇහුම් කන් දෙන්න, ඔවුන්ගේ ජිවන ගැටළු විසඳීමට දායක වන්න.
*ඔවුන්ග්ගේ අකාර්යක්ෂම බව, අවධානය යොමු කිරීමේ ගැටළු විශාදය නිසා ඇති වන්නක් බව තේරුම් *ගෙන ඔවුන්ට සංවේදී වන්න.

*හැකිතාක් එදිනෙදා කටයුතු කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න.

*නිසි වෙලාවට ප්‍රතිකාර, ඖෂධ මාත්‍රා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.

විශාද තත්වයෙන් පීඩාවිඳින්නන් සහ  දිවි නසා ගැනීමට සිතුවිලි ඇති අය වේ නම් වහාම පහත දුරකථන අංක අමතා සහය පතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909
CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - 011 7 490 000

පුවත්පත් ඇසුරින් සකසන ලදී

Tuesday, September 4, 2018

බලු උගුල

කන පල්ලේ පිපිරුන හෙන හඩින් මගේ දුරකතන හුරතලිය නොවැටුණේ එය එතරම් තදින් මගේ අතට ගුලි ව තිබු නිසාමය.
කොහොමටත් නිවාඩු දින වල මේ මේඝ ගර්ජනා අරුමයක්යැ......
සුන්දරීයට මගේ සරම ඇද යට වලල්ල තිබුණත්, තේ කෝප්පයේ ඇඹලයන් නිවාස ව්‍යාපෘතියක් සාදාගෙන සිටියත් ඒම මදෑ හෙන පිපීරිමට........

කොස්ස එක අතකට ගෙන රෙද්ද අනිත් අතෙන් අල්ලා ගෙන රොස නැයිනියක් ලෙස ඈ පුප්පයි පිඹියි.....

ඈ...... මං කී පාරක් තමුසේට කිව්වද අර බලු හැතිකරේ වත්තට රිංගාන හැම තැනම බෙටි ගහලා......
අර ඇන්තුරියම් පාත්ති ඔක්කොම අවුස්සලා,
කොයි වෙලේ බැලුවත් ඔය හත්තිලව්ව අතගාන එකමයි වැඩේ....

මේ බලු හැතිකරයක් මටම වද දෙන්න මේ වත්තටම රිගන හැටි.
අර අල්ලපු පෙරේරා මහත්තයාගේ අක්කර කාලක තඩි ඉඩමට පලයව්කෝ.....
මේ පර්චස් දහයටම පනින්නේ....

දිය බසින්නේ පහත් තැනිනි. මේ ඌරු සුනඛයන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය. එසේ වුණොත් අද රාත්‍රීය සොදුරු රාත්‍රීයක් වේවි..
නාරද දිසාසේකර කියන සිංදුවක් මට සිහි වුණා.......
"අපිටත් දවසක හඳ පායනවා.
එදා අපිත් මල් පැණියෙන් නානවා"

පුරුෂ ධෛර්ය සරම තුල නැග එනු මටම දැණුනි.
බලු ක්‍රියාන්විතයට මම මගේ දුරකතන හුරතලිය ක්‍රියා විරහිත කලෙමි.


පරණ ඇළුමිනියම් පිඟානක් හොයාගෙන එයට වයරයක් මාට්ටු කෙරුවෙමි.
කොල්ලාගේ කුක්කු බෝතලයේ ඉතුරුව තිබු කුක්කු ඒයට දැමිමි.......
වයරය ගෙන ගොස් ප්ලග් එකක නියුටල් හිලට දමා මගේ බලු උගුල සහ බලු හෝඩියේ කටයුතු අවසන් කෙරුවෙමි.
කිරි පිඟාන සුන්දරියගේ ඇන්තුරියම් මල් ගොන්න මත තබා උගුලේ සාර්ථක බව දැක ගැනීමට බලා හිටියා.........
මුලින්ම ආවේ නැට්ට කොට කළුවා..ඒ සිරිපාලගේ බල්ලා......
ඌ දැකපු දේ අදහගන්න බැරුවා වාගේ පිඟාන වටේ ටිකක් කැරකුණා......

සතුටෙන් කෙඳිරි ගෑව කළුවා පලවෙනි උගුර බොනකොටම මං ස්විච් එක දැම්මා.
කළුවා බැගිරි ගාගෙන අඩි දෙක තුනක් උඩින් ඇන්තුරියම් පැලයක් උඩට පැනපි.
මේ හදිසියේ ආ විපිරියාසේ මොකක්දැයි හිතාගන්න බැරුව ටිකක් බලාන හිටියා.
ආයෙම හෙමිහිට පිගානට ලං වෙලා දිව දැම්මා විතරයි........
සැඟවුණු ප්‍රහාරකයාගේ ප්‍රහාරය.....
ටික වේලාවකින්ම අපේ වත්ත වැසිකිලිය කර ගන්න දඩෝරියෝ සැට් එකම කිරි පිගානේ වටේ වාඩිවෙලා සම්මන්ත්‍රණයක.
මේ වෙනකොට හිතට දිරි ගත්තු කළුවා ආයෙම කුක්කු බොන්න ආවා........
හැබැයි ඉතිං ඒ පාරනම් කරනමක් ගහාගෙනම නැට්⁣ට අමුඩේ ගහගෙනම දුවන්න පටන් ගත්තේ පස්සවත් බලන්නේ නැතුව........
උගේ පස්සෙන් අනෙත් දඩෝරියෝ සැට් එකත් එකතු වුණා.......

Sunday, September 2, 2018

ඔබේම වි මම, මගේම වි ඔබ

කාලය යයි ඉගිලි
*****************
විසිරෙමින් තිබු හරුප, අහස්යානා මෙන්ම ප්‍රමෝද ප්‍රහර්ශයන්ද එක්වැනම නතර විය.
අහා..........
ඒ ගණිතැදුරුගේ පංති සම්ප්‍රාප්තිය සිදුවන අසිරිමත් මොහොතයි...
සිරිවර්ධන සර් (කවුරුත් කිව්වේ නම් ලපයා නැත්තං සිරා) ඉස්කෝලේ ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ සැර පරුෂ ගුරුවරයෙක් විදිහටයි.
ඒ කාලේ දැන් වාගේ මානව හිමිකම් ලමයින්ට තිබ්බේ නැහැනේ😀...
ඒ හින්දා සර් පංතියෙන් යද්දී කම්මුල රතු වෙච්ච කමිසේ බොත්තම් කැඩිච්ච අය දෙතුන් දෙනෙක්ම උන්නා...
සර් තමයි දහයේ පංති පහේම ගණ සර්..
 බොනී අය්යගේ කඩෙන් සිගරැට් ගෙන්න ගන්නේ මට කියලා .
ඇය් මං දහයේ පහ පංතියේ නායකයානේ.

පංතියේ උන්නු සුමනා හැඩකාරී, දඟකාරී.
හැබැයි ගොන් බදින කණුව. ඒ වුණාට අෑ සඳහා තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්.
සමහර වේලාවට මාත් ඇයගේ රෝසපාට කම්මුලේ සුළිය දිහා හොරෙන් බලාන හිටියා😂
පංතියේ ගණන් කාරයා චන්දන. ගණකාරයා කිව්වට මං පොළවේ කකුල් හැප්පුවත් මුණ කළු වෙනවා....
චන්දන සහ සුමනා අතර පොඩියට වගේ එව්වා මෙව්වා එකක් තිබ්බා .
දැන් සිරිවර්ධන සර් පාඩම කරගෙන යනවා.

"ත්‍රිකෝණ අංගසම වීම'

තිකෝණ ජෝඩු ඇදලා අංගසම අවස්ථාව සර් කියන කෙනා කියන්න ඕන....
සර්ගේ ඇඟිල්ල සුමනාට දික් වුනා
සුමනා

" ප.කෝ.ප.කෝ" 

කියද්දී එහා පංතියේ එකාලත් සිරික්කියේ අඩුපාඩු මැකුවා....

"යකෝ උඹ බැදලා ළමයා උඹේන් ගාණක් ඇහැව්වොත් මොකද කරන්නේ"

හෝල් එකේ පංති පහටම උගන්නන ගාණට සිරිවර්ධන සර්ගේ සද්දේ
සුමනා සිමෙන්ති පොළව සපත්තුවෙන් හාර හාර
"පුතේ තාත්තාගෙන් අහ ගන්න කියනවා"
චන්දන දිහැවේ කෝලං බැල්ලමක් හෙලමිනුයි

පසු කාලයකදී මේ දෙ⁣දෙනා විවාහ වුණා

Friday, August 31, 2018

පර්යේෂකයෙක්ගේ මරණය

ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඇමරිකාවේ ජාතික විලියම් පේන්ටර් සිය දිවිය ඉසුරුමත් කර ගත්තේ බෝතල් මුඩි නිශ්පාදනය කිරීමෙනි. ඔහු හොඳ හාම්පුතෙකුද විය. තමාගේ සේවකයින් පිළිබද මනා වැටහිමක් තිබු පේන්ට දිනක් ඉතා කාර්යක්ෂම සේවකයෙක්ට කතා කලේය.

"ඔබටත් පුළුවන්නේ මේ වාගේ ව්‍යාපාරයක් අරඹන්න........
මේ මං කිව්වේ ඔය සැරයක් පාවිච්චියට අරන් විසිකරන විදිහේ දෙයක් හදන්න..
මිනිස්සු පුරුදු වුණොත් ජිවිත කාලේම ගනිවි.
කිසිදාක ඉල්ලුම අඩු වෙන්නේ නෑ......"
පසු කලෙක මෙම සේවකයා සිය ස්වාමීයා උපදේශය අනුව අපුර්ව නිශ්පාදනයක් ලොවට බිහි කලේය. එතෙක් දැලි පිහියෙන් රැවුල ඉවත් කල මිනිසුන්ට භාවිතයෙන් පසු ඉවත ලන තල සහිත රේසරය හඳුන්වා දුන්නේ මේ අපුර්ව නිමැවුම්කරුවාය. ඒ කිංග් ජිලට්ය.

Sunday, August 26, 2018

අලි පහර දීම

අලි පහරදීම
යකා වංගුවට ඔබ්බෙන් වන බුටෑවට කළුවර කඩා පාත් වෙමින් තිබිණි.
මහකළු සද්දන්තයා වියලි පරණලා අහුරක් මුව තුල රුවාගෙන විකුවේ ආඩතාඩයටයි, හරියට මිනිහෙක් අපුල අහරක් බුදින විලසින්මය.
සද්දන්තයා පෙර තනියම නොසිටියත් අද හේ තනිවමය.
ඒ සොඳුරු සුයාමයන් සිහිපත්වන ඇසිල්ලක සද්දන්ත නෙතු කඳ්‍රලින් සිහිල්වෙයි.
එමෙන්ම භිෂණකාරී ඒ කළුවර රාත්‍රීයද සද්දන්තයාට අමතක කරනු බැරි.
ඒ අඳුරු දින............
පුංචා මැදි කරගෙන දිය සොයා ගියේ ඉවටය.
කෑලැ සාවියේ ක්ෂය විමත් සමඟ පෙර නොවු විරු ලෙස වනයේ දිය කඩිති හිදි යන්නට වුයේ වන සීපාවන්ගේ කරුමයකටද?
ජලය සොයා සද්දන්තයාගේ නෑසියන්ටත් මේ ජල අහේනිය තදින් බල පැවේය. එදා මේ කුඩා පවුල වනයෙන් ඔබ්බේ වු නරුම වානර ජනපද අසලටම ගියේ එහෙයිනි.
ජලය දැකි පුංචාට ඉස්පාසු නොවිනි.
හේ සිය සිඟිති හොඬවැල ඔසවා නැගුයේ ප්‍රීති රාවයකි.......
මා පිය දෙපලගෙන් වෙන් වු ඔහු පිමි ගසමින් සුනිල ජල කද දිව ගියේය..
අඳුර තුල වු නරුම වානර දඩයක්කාරයින් ක්‍රියාත්මක වෙමින් සිටි බව සද්දන්තයෝ නොදත්තෝය. එක පිට එක හෙන පුපුරමින් ආ ගිනි පුලිගු සද්දන්තයා ලගම සිටි සිය ප්‍රියම්බිකාවගේ කන් තලය තුලින් රිංගා යත්ම, ඈ මේ ඉසව්වෙන් පලා යා යුතුයි යන කෙදිරිය මුසු හඬකින් මුර ගෑවේය. සද්දන්තයාගේ පලායාමේ සහජාශය ඉක්මණින් ක්‍රියාකාරි විය...
සද්දන්තයා වියලි මොරගහ අසලට පැමිණ සිදු වුයේ කුමක්දැයි ආවර්ජනය කරන්නට විය. එහෙත් ඔහුගේ සද්දන්ත මොලයට කිසිවක් සිතාගත නොහැකිය.
තවමත් සිය ප්‍රියම්බිකාවගේ ශෝකි වේදනාකාරී රාවය සද්දන්තයාගේ කණ තුල කුණාටු සුළි නැවුවේය.
ඉද්ද ගැසුවා සේ හුන්තැන නතර වු සද්දන්තයා චින්තාබර විය.
හේ නැවත ගමන් ඇරඹිය..වහ වහා අනතුරටම , ඔව් ඒ මාරක ස්ථානයටම ඇදෙන්නට විය.
ට්‍රැක්ටර් පාරේ අමුතු හඩකින් දිලෙන බඹවා ගත් දෙනෙතින් ඉදිරියට එන සතා නිසා ඔහු යලි කෑලයටම වසං විය.....
මේ සතාගේ හඬට පුංචාගේ මව, පියා අමතන බියපත් හඬ මුසුවුයේ කෙසේද? මොහොතින් මොහොත කෑලැව සහ කැළැ ගම්මානය අවට නිහඬ බව රජ යන්නට විය.
සද්දන්තයා යලි ප්‍රියම්බිකාව සොයා යන්නට විය .
අහෝ........
වැව් පිටිය මත වැටි තිබු ප්‍රියම්බිකාවගේ ගෙල අසලින් හිස ඉවත් කොට ඇත...ගලා යන රුහිරි ධාරාවෙන් පොළව මත වියලි තණපත් රක්ත වර්ණිත වි ඇත.
ඇයගේ වල්ගයේ අග කොටසද කපා දමාය.
සද්දන්තයා දෙපා පණ නැතුව ගියේය.
දණින් වැටි සද්දන්තයා සිය හොඬවැල මාලාවක් සේ වැතිර ඇති කෙනෙරගේ සිරුරේ වේලිණි.
අහසේ තරු කැට මියෙන තෙක්ම සද්දන්තයා සිය ඉරියව්ව වෙනස් නොකලේය.
ඈ යලි නොනැගිටන බව හේ පසක් කර ගත්තේය. ලයතුල රුහිරු උණුසුම්විය.
මේ "නරුම වානරයන්"
දැන් සද්දන්තයාගේ හිත තුල ඇත්තේ එකම සිතුවිල්ලකි.
ඒ පාපීන් සුණු විසුණු කල යුතුයි..

සද්දන්තයාගේ හිත කල්පනා රැහැනින් මිදුණේ ඒ කුඩා නිවසේ මුරකරු සුනඛයාගේ අනතුරු අඟවන බිරුමෙනි..
එත් සමඟම බල්ලාට නිවැසියෙකුගේ පහර වැදීමක් සමඟම අනතුරු ඇඟවිමේ බීරුම වේදනා බිරිමකට පෙරලිනි.
සදසද්දන්තයා ගේ ක්‍රෝධය තවත් වැඩිවිය. උදව් කරන හිතවතාටත් පහර දෙන නරුම වානරයින්......
හේ එක පිම්මේ දිව ගියේ....
මේ ගම්මානයේ පස්වැනි අලි පහර දීම සිදු කිරිමටයි.

Friday, August 24, 2018

කළු දළ මල



ගුණපාලගේ දෙපා ඒ විසල් කාන්තා රූපලාවණ්‍යයාගාරය අස, මඳක් කම්මැලි වුණා....විසල් නාමපුවරුවේ හුන් රුවැත්තියගේ මිහිරි ඒ මිහිරි සිනහව .....
එය තවමත් මඳක්වත් වෙනස් වෙලා නැති හැටි......
ගුණපාලගේ සිත එක්සැණීන් අතීතයට යා වුණා....

" පිනි මුතු දිලෙන තණ පලස මතින් ගුණපාල දිව්වේ කජු ගහ ගාවට..
ඇන්ටිගේ කඩේ ගාවින් පාසලට යන පටු පාර දෙපස ඇති ගඩා ගෙඩි වලට ගුණපාලගේ ගමනේ ලහිය අඩු කරන්න බැරි වුණා...
වවුලො හප කල පුහුල අතින් මිරිකා හැර කජ්ජ කලිසම් සාක්කුවට ඔබා ගත්තා ටික වේලාවකින් තරඟකරුවෝ ආවත් ඒ වෙනකොට කජුගහ වටේ ඉතුරු වෙලා තිබ්බේ පුහුලං හප කොට විතරයි.
විජයාගේ ඕන කමට කට්ටියම ගහ මත්තට නැග්ගේ පොත් දාගන උන්නු සිලිං සිලිං මළු ඒ මේ අත අතැරලා.

එයි අන්න බලපං...

විජයයාගේ  මොර ගෑමට හැමෝම තාර පාරට ඇස් යොමු කලා..
නිල්පාට සුට් කේස් එකක් අතට ගත්තු , කෙටි කෝණ්ඩය  පොනිටේලයක් ලෙසින් බැද ගත් හින්දැරි  දැරිවියක් උස මහත පිරිමියෙක්ගේ පස්සෙන් පාසල දෙසට අඩි  කඩමින් උන්නා..

"අලුතියක්"..

චන්දනයා  හැමෝටම දැනුම් දුන්නා....
එදා තමා මියුරියල්  ගුණපාලගේ පංතියට ආපු මුල් දවස.  එතොට ගුණපාල උන්නේ හතේ පංතියේ.
දවසක් විජයා මියුරියල්ගේ පැන්සල කඩාලා ගුණපාල විජයට  බිම පෙරලගෙන ගැහැව්වා.
ඇත්තටම මියුරියල්ගේ රෝසපාට කම්මුල දිගේ ගලපු කදුළු කැට දැක්කාම ගුණපාලට ඉහිලුම් නැතුව ගියා.
කැසිකිලිය ගාව කොහැල්ලැ ලාවුළු ගහෙන් අහුලා ගත්තු කොහැල්ලැ ලාවුළු  ගෙඩියක් මියුරියෙල්ට දුන්නට ඈ ඇඩුම  නැවැත්තුවේවත්,  ඒ ගෙඩිය ගත්තේවත් නැහැ.
කොහොම හරි එදායින් පස්සේ කොළු නඩේට  ගුණපාලව තරහ ගස්සන්න  කාරණාවක් ලැබුණා...පිටුපසින් ගැහැව්ව හෝර්න් සද්දේ හින්දා ගුණපාලගේ කල්පනා දැහැන බිඳුණා..

නැගපං මං උඹව පොලට දාන්නම්.

ඒ විජයා.
පලා මිටි ගෝනිය ඔඩොක්කේ තියාන ගුණපාල විජයාගේ නයින්ටියට  නැග්ගා