Pages

Monday, April 8, 2019

එඬරු නැට්ට

සුමනාවතී දිස් දිස් ගා සිය පපුවට ගසා ගත්තේ හොටු මුසු කදුළු වගුරවමිනි.
වනා ගත් කොණ්ඩය නිසා ඈ පෙනුනේ උන්මාදයෙන් පෙලෙන්නියක් ලෙසිනි.

තෝ.......
තෝ අපිව කෑවා..
පරට්ට බැල්ලී,
අපි කොහොමද යකෝ දැන් පාරක බැහැලා යන්නේ....

පෙරේරා කවිච්චිය මත වාඩිවි සිය උපැස් යුවල පිරිසිදු කරන්නේ පසෙක වැටි හඬමින් සිටින රැවනී දෙස රවමිනි.

රැවනී , පෙරේරා සහ සුමනාවතීගේ එකම දියණියයි.
එකම දියණිය වුවෙන් නොමද ඉසුරෙන් යුතුව හැදුණු ඈ තවමත් දාහත් ඇවිරිදි වියේ පසු වෙන්නීය.
සුමනාවතී සමුපකාර මැනේජර්වරියකි.
පෙරේරා තැපැල්කාර්යාලයක ස්ථානාධිපතිවරයෙකි.
රුවනී කුඩා කල සිටම අධ්‍යාපනය සදහා යොමු කරන ලද්දේ ඇයගේ මැණියන් විසිනි.
ගමේ පාසලට නොයවා නගරයේ වු ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලට ඇය ඇතුලත් කරේ සුමනාවතීගේ "ඇගේ" හය්යෙනි.
ඒ සදහා ඈ කල කැපකිරීම් සහ වෙහෙස පෙරේරාවත් නොදනී.
ඔහු දන්නේ සුමනාවතී ඔවුන්ගේ සමුහ ගිණුමෙන් රුපියල් ලක්ෂයක් ගත් බව පමණි.
පාසලට ඇතුල් කිරීමෙන් පසුවද එකේ පංතියේ සිටම අකුරු පංතියකටත් පසුව ශිෂ්‍යත්ව පංතියකටත් ඇතුල් කල රුවනී නිවසට ආවේ හැන්දැජාමයේය.
ගෙදර ආ රුවනීට ඉස්පාසුවක් ලැබුණා නම් ඒ නා ගැනීමට පමණි.
නාන කාමරයෙන් එළියට එන රුවනී සුමනාවතී විසින් කෑම කාමරයට කැදවා ගෙන ගොස්,
ඇගේ යෙහෙළියන් විසින් නිර්දේශ කරන ලද නා නා ප්‍රශ්න පත්‍ර කට්ටල සදහා පිළිතුරු ලිවිමට යොමු කරවයි.
දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත් වුවාය.
එහෙත් ඒ යන්තමිනි.
දෙමාපියන් රජයේ රැකියාධාරින් නිසා රුවනීට ශිෂ්‍යාධාර නැත. ඇයගේ ලකුණු ප්‍රමාණවත් වුයේ එතෙක් ඈ ඉගෙන ගත් පාසලට ප්‍රවේශ විම සදහා පමණි.

පුරුදු පරිදිම රුවනී පාසල් ගමන සිදු කරන ලද්දේ පාසල් වෑන් රථයෙනි.
ඇයගේ ලෝකය , ඇගේ පාසල, පාසල් වෑන් රථය සහ නිවසය.
පාසල බාලිකාවකි.
රුවනී පාසලේ වාර විභාගයන් සඳහා සෑම විෂයක් සදහාම ලකුණු හැට හැත්තෑවක් ලබා ගත්තද ඒ සුමනාවතීට ප්‍රමාණවත් ⁣වුයේ නැත.
A නවයක් දා ගැනීමට නම් අසුවක් අනුවක් වාර විභාග සදහා ලකුණු ලබා ගත යුතු බව ඇයගේ අදහස විය .
ඒ අනුව ගමේ පාසලේ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීම් කල රත්නදාස මහතාට පෞද්ගලික ඉගෙන්විම සදහා කතා කර ගත්තේ බලවත් පෙරැත්තයකිනි.
රත්නදාස මහතා හවසට ගමේ පාසලේ ලමයින් කිහිප දෙනාවම සිය නිවසට කැදවාගෙන ඒ අයගේ පාඩම් වැඩ වලට උපකාරී වුවේය.
රුවනී ද ඒ කාණ්ඩයට එක් කර ගැනීමට රත්නදාස මහතා යෝජනා කලේය.
ඒ කාලයේ රුවනී ඉතා සතුටෙන් කාලය ගත කල අතර රාත්‍රීයට සුමනාවතීට ඇයගේ ගිරා කතා වලට සවන්දීමට සිදුවිය.
දිනක් තෑපැල්හලට පැමිණි රත්නදාස මහතාගේ අසල්වැසි නිවසේ කාන්තාවක් සුමනාවතීට හයිඩ්‍රජන් බෝම්බයක් දී ගියාය.
ඒ පිපිරුනේ එදින සවසය.
එහෙත් එහි වැඩි හඩක් නොවිය.

"රුවනී කවුද බණ්ඩාර කියන්නේ,"

"බණ්ඩාර කියන්නේ අපේ හවස පංතියට එන ලමෙක්......
හරි හොදයි.....
රත්නදාස සර්ගේ හොදම ගෝලයා..."

"හා එහෙමද, උෟත් එක්ක තියෙන ඇයි හොදය්ය මොකක්ද ?"

"හෑ..... මං......
⁣එහෙම මොකුත් නෑ.......
අපි එකට හවස පංතියේ වැඩ කරනවා.
අනෙක සර් පංතිය ඉවර වෙනකම් ඉන්නවානේ,
පංතිය ඇරුණාම මාව එක්කගෙන එන්නේ තාත්තානේ....."

හරි අපිට ඔය පංතිය හරි යන්නේ නැහැ.
මං වෙන සර් කෙනෙක් හොයා ගන්නම්.

ඉනික්බිතිව සුමනාවතීගේ යෙහෙළියක් විසින් හදුන්වාදෙන ලද සර්,
රුවනීට පාඩම් කියා දීම සදහා සතියට දින තුනක් හවසට පැමිණිම සිදුවිය.
මුල් කාලයේ පංතිය පැවැත්වෙන අතරතුර පෙරේරා හෝ සුමනාවතී අයිනක හාන්සි පුටුවක වාඩි වි පරණ ඉරිදා පත්තරය යලි කියවිම සිරිතක් වුවද කාල⁣යාගේ ඇවැමෙන් එය අපෝ විය.

එදා සුමනාවතී එන විට සර් බයිකලය පණ ගන්වාගෙන, බයිසිකලයට සැර දමමින් සිටියේය.
සුමනාවතී දකින හුචස් ගා නැවතුණ බයිසිකලය යලි කඩිනමින් පණ ගස්වා යන්නට පිටත් විය..
සුමනාවතීගේ ස්ත්‍රී ඉවට මෙය ඒ හැට ඇල්ලුවේ නැත.
රුවනී පාඩම් කාමරයේ නැත.
කෝ රුවනී .........
රුවනී ඇදුම හරි බරි ගසමින් ඇයගේ කාමරයෙන් එළියට ආවාය.

"රුවනී.........ඉඉඉඉ"

සුමනාවතීගේ දෙකකුල් පණ නැතිව ගියේය.
වහ වහා රුවනීගේ කාමරයට යාමට පණ නැති වුවද ඒ කකුල් උපකාරී විය.
ඇද අසල රුවනීගේ බෝනික්කා උඩුබැලි අතට වැටි සිටියි.
සුමනාවතීගේ විපරම්කාරි ඇස් කාමරය සිසාරා විහිද ගොස් ඇද ඇතිරිල්ල මත වු එක් කුඩා පැල්ලමක අස නතර වුයේ සිහින් ඉකියක්ද සමඟය.........

ඉනික්බිතිව රුවනීගේ දිගු කේශකලාපය සුමනාවතීගේ අත් අඩංගුවට පත්විය.

" කියාපිය පරට්ට බැල්ලී........
මොකක්ද වුණේ......"

ඒ අනුව පොඩි පොඩි සිදුවිම් වලින් ඇරඹි අද දින ඇද මත හුන් බෝනික්කා බිමට වැටිම දක්වා වු සියල්ල රුවනිගේ කදුළ සහ ඉකිය මුසු වු වදන් වලට පෙරලිනි.
................................................
" සුමනා දැන් මේකට කෑ ගහලා, අඩලා මේ දරුවට ගහලා වැඩක් නැහැ.
අපි පොලීසියට පැමිණිල්ලක් දාමු.
දාලා මේ කෙල්ලව ඒ හාදයටම බන්දලා දෙමු.."

සුමනාවතී සහ පෙරේරා පොලිස් පැමිණිලි අංශයට ගියේ ඒ අනුවය.

"ගැණු ළමයාගේ වයස"

තඩි බැරලයකට යුනිෆෝමයක් ඇන්දුවා වැනි පොලිස් කාන්තාව බෙලෙක් හඩකින් ඇහුවේ ඔලොක්කු හිනාවක් එක්ක..

"දා හතයි"

"එහ්..........
එහෙමද එහෙනම් ඉතිං වැඩක් නෑ....
මේකට අපිට මොනවත් කරන්න විදිහක් නෑ......"

"හෑ...දහඅ⁣ට වෙනකම් බාලවයස්කාරයෝ නෙමෙයිද?"

"ඔව් බාල වයස් තමා,
විවාහ වෙන්න බෑ.......
නමුත් ඉතිං.........
දන්නවානේ....
මෙතන බලාත්කාරකමක් වෙලා නෑ..
ඉතිං හොදම දේ වයස සම්පූර්ණ වුනාම බන්දලා දෙන්න."

සුමනාවතීට පොලිස් කාන්තාවගේ යුනිෆෝමයේ තිබු තරු පොලිසියේ වහලේ පෙනෙන්නට විය.
වහාම සර්ව සම්බන්ධ කර දුන් හිතවතියට කතා කොට සර්ගේ වාසබවන තියෙන තැන අසා දැන ගත් පෙරේරා මහතා ,
කුළී රථයකින් අදාල නිවස සොයා ගියේය.
නිවස පිහිටා තිබුණේ නව නිවාස ඉදිකල කට්ටි ඉඩම් ව්‍යාපෘතියකය.
හෝඩුවා අනුව කාමර දෙකක් ඉදිකර තිබු නිවසක් සහිත ඉඩමකට කුළි රථ රියදුරු වාහනය හැරවිය.
බට් අඹ ගහක යට ජංගීයක් පමණක් ඇද සිටි කෙසඟ දැරියක් වාහනය දැක හනික සාදා තිබු කාමරයට පලා ගියේය.
ඒ සැණින් දැරියගේ මුහුණුවර ඇති දැරිය මෙන්ම කෙට්ටු ගැහැණියක් කාමරයෙන් මතු වුවාය.
ඇය තව දරුවෙකු බලාපොරොත්තුවන බව ඇයගේ ඇදුම් විලාසිතාව මෙන්ම නෙරාගිය උදරයද කියා පැවේය.
ආයාසයෙන් සිනහවක් දල්වා ගත් ඈ....
"ඇයි මහත්මයා .........යි විමසුවාය.
"ආ ...........අප ......සර්ව මුණ ගැහෙන්න.."
"එයා දැන් පංතියක ." ඇය කිවේ නගරයේ ප්‍රකට ආයතනයක නමකි.
පෙරේරා මහතාගේ උගුරේ විශාල ගුලියක් සිරුවෙන්නට විය.
ගැහැණියගේ ඇදුමෙන් වසං වෙමින් ගෙතුලට රිංගාගත් දැරිවිය එඹි බැලුවේ කෝලං සිනා පාමිනි.
"හරි දුවේ අපි යනවා....."
වහා කුළිරථයට රිංගා ගත් පෙරේරා මහතා අතින් යන ලෙස රියැදුරුට සන් කළේය.

............................
"සුමනා මේ කෙල්ලට බැණලා වැඩක් නෑ.
මේවාට අපිත් වැරදිකාරයෝ.
නිකම් හිතලා බලන්න මුල ඉදන්ම ,
අපි කරලා තියෙන්නේ හරි දේ ද කියලා.."
දැන් අපිට කරන්න තියෙන්නේ මේ ලමයාව නිදහස් කරන එක..

පෙරේරා මහතා දන්නා හදුනන වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ගෙන්ම තොරතුරු විමසා සිටියත් ඒ ලද තොරතුරු සතුටුදායක නැත.
ඇග ඇයගේ වුවත් ඇයට එය අනවශ්‍ය වුවත් කල හැකි නීත්‍යානුකූල කිසිවක් නැත.
ඔය අතර කැළෑගම ජුවානිස් වෙදරාල ගැන තොරතුරු දැනගන්නට හැකි වුයේ අහම්බෙනි.
තැපැල් හල ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ චම්පිකගේ ත්‍රීරෝද රථය නිතර තරුණ ජෝඩු සොයයි.
මේ ඉව අනුව චම්පිකගෙන් ඇසු විට ජූවානිස් වෙදා ගැන දැනගැනීමට හැකිවිය.
ජුවානිස් නැතහොත් එරඬු නැට්ටේ වෙද මහත්මයා පෙරේරා මහත්මයලාගේ ඉටු දෙවියා වුය් ඒ අයුරිනි.
........................
ජුවානිස්ගේ ගෙදරට තරමක් දුරින් වෙදහල පිහිටා තිබිණි .
ගෙදරට හැරෙන ගේට්ටුව අසල විශාල පුවරුවක ජුවානිස් වෙදමහතාගේ වෙදකම් පිළිබද විස්තර කර තිබුණි.
එහි කාන්තාවන්ගේ කල් ගතවු ඔසප් විම් එවේලේම ඇති කර දෙන බව විශේෂ කොට සටහන් කර තිබුණි.

වෙද මහතා මැදියම් වයසේය.
විශාල උඩු රැවුලත්, බෝතල් මුඩි උපැස් යුවලත් නිසා වයසට තව අවුරුදු කිහිපයක් එක් කර තිබුණි.
පලල් උරිස්සේ පළල අත් සහිත බැනියම නිසා තවත් පලල් ව තිබිණි.
දෙපතුල් පල්ලේ වු පඩික්කමට තවත් විශාල බුලත් කෙල තලියක් හෙළු හේ..
"කෝ වම් අත දෙමු බලන්න"
රුවනීගේ වමත ගත් හේ දෑස පියා ගත්තේය.

"මාස තුනයි...........
ඉස්කෝලේ යනවා මගේ හිතේ..."

"ඔව් වෙද මහත්තයා, මේ පාර ඕ ලෙවල්"

"හොදා ... හොද.....
ලක්ෂයක් දෙන්න මහත්තයා ......
අද හලනවා නම් හෙමයි, නැත්ත මාස හතර පහු උනොත් ගාන වැඩියි."

චම්පික සියලු තොරතුරු ලබා දී තිබුණි.
අවශ්‍ය මුදල් පෙරේරා මහතා සුරැකිව ගෙනවිත් තිබිණි.

වෙදහලට ඔබින් වු ලැගුම්හලකට පෙරේරා යුවල පිටත් කෙරිනි.
එහි තවත් මැදිවියේයුවලක් සිය වාරය අපේක්ෂිතවබලා සිටියහ.

විනාඩි හතලිස් පහකට පමණ පසු රුවනිගේ කාර්යය අවසන් විය.
මේ සදහා එඬරු නැට්ටට අමතරව තවත් නැට්ටක් ගැසු බව ඇය හැරුණු විට දන්නේ නැට්ට ගැසු තැනැත්තාම පමණි.

නගරයේ පාසලින් ඉවත් කල රුවනි ගමේ පාසලට ඉන් පසුව ඇතුලත් කරන ලදි.
............................................

හමාර කීම...........

මේ වන විට රුවනී පෙරේරා නිතිඥවරියකි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රබල සංවිධානයක සම කැඳවුම්කරුය.
ගබ්සාව නිතීගත කිරිම සදහා විශාල හඬක් නංවයි.
දරු දෙපලකගේ මවකි.. ඇයගේ සැමියා බණ්ඩාරය. ඔහුද නිතිවේදියෙකි.








3 comments:

  1. වාර්තාවක් වගේ නොවී ලිව්වා නම් සෑහෙන කම්පනයක් තියෙන අවසානයක්

    ReplyDelete
  2. Jagath Pathirana4/10/19, 10:02 AM

    ඔබ ගබ්සාවට විරුද්ධ නම් ගබ්සා කරගත් ස්ත්‍රීන්ට වෛරකල යුතුයි.

    ReplyDelete
  3. බොරු සුචරිතවාද කරපින්නාගෙන අවශ්‍ය දැනුම දුන්නේ නැතිවුණාම හුඟාක් වෙලාවට වෙන්නේ ඔහොමමයි!

    ReplyDelete