Pages

Thursday, November 1, 2018

"එකට එක"

පොඩ්ඩා සිය පුපුරු ගසන පිට අත ගා ගන්නට අසාර්ථක උත්සහයක් ගත්තේය. "බාප්පා" කොළු රෑන සමඟ නඩලමේ ගියේ යැයි "මල් කෑර" කෝටුවක් කැඩෙන තෙක් පිට හරහා තැළුවේය.
"බුදු තාත්තේ ආයේ යන්නැතෝ"
විලාපයට වත්ත පහල පලා කඩන්නට ගොස් සිටි අම්මා නොඑන්නට පොඩ්ඩේගේ පිට මේ තරමින් වත් බේරැම් බොරුය. අම්මා හුල්ලන පොඩ්ඩේගේ පිටේ සර්ව විශාදිය තෙල් තලියක් ගා පිරිමැද්දේ
විටින් විට චීත්ත පොටෙන් නහය සහ දැසද පිසිමිනි.
"නාඬා ඉදිං කොල්ලො , මං උඹට රෑට සාඩිං ටින් එකක් ගෙනත් බත් උයලා දෙඤ්ඤං "
එහෙම පොඩ්ඩේට නාඬන ලෙස කීවද අම්මාගේ කදුළු උල්පත්වල දිය සීරාව නොසිඳි ඇති බව පොඩ්ඩෙට කදුළු තීර දැමු දැස් තුළින් පෙනිනි.

බටලන්දට පැන කපා ගත් බට ගසෙන් ⁣කොළු නඩයටම බට තුවක්කු නිශ්පාදනය කල අසහාය නිර්මාණකරුවා ගේ මුල්ලේ හොටු ද කදුළු ද එක සේ පෙරමින් හඩයි.
බූලාත්, කිටියාත් පොඩ්ඩේගේ දෙපසය.
උන් දෙදෙනාම මේ කාරණයේදී පොඩ්ඩේට පක්ෂපාතී බව පෙනේ.

කොහුකිරිල්ල ගෙඩි පතුරම් කිහිපයක්ම තවමත් පොඩ්ඩේගේ පස්ස ඉරී ගිය කලිසමේ පතුල තියෙන තිබෙන සාක්කුවක  තිබේ.
සෙනසුරාදා නිවාඩු දිනයයි.
පොඩ්ඩේගේ සිය අසල්වැසි කොළු නඩය සමඟ බටතුවක්කු වලින් සන්නද්ධව "කුරුන්ද" ආක්‍රමණය කලේ එහි ඇති දං, කීන සහ ගොරක අත්පත් කර ගැනීමේ මෙහෙයුමකටයි. සෑබැවටම එය ඔවුනගේ ඉලක්කයම නොවිය.
ගොරක ගෙඩියක බුරිය ඉවත් කොට, ඒ තුලට දැමිය යුතු අඩු වැඩිය ලෙස
ලුණු කැට,
ගම්මිරිස් ඇට , මිරිස්ගල ගාව පොල් කට්ටෙන් වසා ඇති තුනපහ ගුලියෙන් සොරා ගෙන කෙසෙල් කොලයක දැවටු තුනපහ ඩිංගිත්තට ඇඹරු  මිරිස් ද හාමු වි තිබිණි.

ගල්වල ගාව ගොරොක් ගහේ ගෙඩි පැණි රසයෙන් වැඩි බව කොළු නඩයේ කවුරුත් දැන සිටි රහසකි.
⁣පොඩ්ඩේ කොළු නඩයේ දක්ෂතම ලැක්කිකරුය .
ඇසක් වසා කුරුමාණම් අල්ලා ගසන ගල ගොරොක් ගෙඩි හත අටක් පොළවට කැන්දයි.

පොඩ්ඩේ ඇතුළු කොළු නඩය අට දෙනෙකි. මෙහි නොනිළ නායකයා පොඩ්ඩේය. සියළු දෙනාම ගමේ මහා විද්‍යාලයේ හයේ පංතියේය. පංතියේ නායකයා වු ගුණපාලද මේ ගමනට එක් වි තිබිණි.
පංතියේ වැඩ වලදී ප්‍රමුඛයා වුව ද මෙවැනි කටයුතු වල දී ඔහු සුට්ටා තරම්වත් දක්ෂ නැත. කම්බි වැටෙන් පනින විට පොඩ්ඩේ උදව් නොකරන්නට ගුණපාලගේ කමිසයෙන් කොටසක් කම්බියේ රැදෙනු නිසැකය.

පොඩ්⁣ඩේගේ මව සිරීයාවතීය. ඇය නමේ පරිද්දෙන්ම සිරීයාවන්තය.  පිනිජම්බුවක් බදු කම්මුලේ පැනෙන වල, නල දත් සිනහවට ආලෝකයක් විය.
අවාසනාවකට ඈ පෙම් බැඳි සිත්තර ගුරුන්නාන්සේට ඇයගේ නෑ සනුහරය අවලාද පිළිකුල් කඩු හෙල්ල අමෝරා ගත්තේ ඔහු හිනකුලයක වු නිසාය.
බුදු මැදුරේ ඇති මාර පරාදය චිත්‍රයේ  වු රතී දුටු අයෙක් නැත.
එහෙත් ඒ චිත්‍රයේ වම් පියවුර අසලැති කළු ලපයත්, නාභිය අසල වු කළු ලපයත් සිරීයාවතිගේ දේහයේ ඇති බව ඇගේ මව් දෙමාපියන් හැරුණු ව්ට දන්නී සිරීයාවතිය පමණකි.
ඒ එසේ වුයේ කෙසේදැයි එවකට දැස් නොතිබි පිළිම පවා නොදුටුවාය.

සිත්තර ගුරුන්නාන්සේට සිය කාර්යය අවසන් කිරීමට පෙරාතුවම ගමෙන් යන්නට වුයේ සිරීයාවතිගේ නෑ සනුහරේ පංසලේ ප්‍රමුඛ දායකයන් වු බැවිනි.

ඉන් දෙමසක් ගත වන්නටත් පෙරාතුව සිරීයාවතිය සඳහා යෝජනා වු ලැම්බර්ට් හා විවිහ විමට සිදුවිය.
ලැම්බර්ට් සිරියාවතීයට වඩා දස වසක් පමණ වයස වු හැඩි දැඩියෙකු වුවද නිදියහනේදී අත දරුවෙකු බව සිරීයාවතිට පසක් විමට වැඩි කලක් නොගියේය.
එහෙත් කසාද බැද නව මසක් ඈවැමෙන් ඈ සිත්තමක රූවක් බඳු කුමරෙකු වැදුවාය.
කාගේ ආදරය ලැබුණත් සිය පියාණන්ගේ ආදරය නොලැබෙන්නේ ඇයිදැයි පොඩ්ඩේ නොදන්නකි.


චුට්ටේ සිය බඩතුරේ සඟවා ගෙන හුන් කැටපෝලය ගත්තේ, තුය්යන් දඩයමටයි.
තුය්යෝ මේ වන විට දං පඳුරු වල දං ගෙඩි කෑමට පෙරහැරේ එමිනි සිටියෝය.
චුට්ටේගේ පස්වෙනි ගල් පහර අවාසනාවන්ත තුය්යා බිම දැමිය.
කොළු නඩය ජය ගෝසා කරමින් තුය්යාද රැගෙන ගල වලට ඔබින් ඇති ගල් තලාවට වහ වහා ගියෝය.
පොඩ්ඩේට ගිනි මැලයක් ගැසිමට ඒ හැටි කාලයක් ගියේ නැත.
ඒ වන විට තුය්යා පිහාටු රහිත මස් වැදල්ලකි.
බ්ලේඩ් තලයකින් බඩ කපා අතුණු බහන් ඇඳ දමා ඒතුලට ලුණු තුණපහ ඇතුලු කලේ චුට්ටේමය.

අහෝ ඒ කුණාටුව හැමුයේ ඒ සැණින්ය.
කුරුන්දට යාබඳව ඇති රබර් වත්තේ මාටින් මුදලාලි යකෙක් ලෙස ප්‍රාදුර්භූත වුයේ තනිවම නොවේ. නොම්බර හත කට්ටියේ කිරි කපන මැගිලින් ද ඔහු සමඟමය.

"⁣මේ මොන පව්කාර හැත්තක් ද,
යකුනේ තොපිට වෙන වැඩ නැද්ද බොලව්"

මාටින් මුදලාලිගේ පා පහරින් ගිනිමැලයට ඉහලින් පලැහෙමින් වු රසමසවුළු පොදිය බැද්දට විසික්කා විය.

"දුවපියව් පර බල්ලො.......
මින් මනත මේ පැත්තට රිංගාල අහු වුණොත් තොපේ අඩු කඩන්නේ මෑ කරල් කඩන්නැහේ"

පොඩ්ඩේ ඇතුළු කොලු නඩය පා සවි මැන නොගමින් පසු ගමන් ඇරඹිය. පංතියේ ඉදිරි පෙල ගුණපාල සියල්ලන්ටම පසුපසිනි.
අහම්බෙන් පසුබැලු ගුණපාලට මැගිලින් අ⁣තින් ඇඳගෙන ගල්තලාවට එපිටින් ඇති ගල් ගුහාවට යන අරොන් මුදලාලි දැක ගත හැකිවිය.

හවස ගෙදර එමින් සිටි ලැම්බර්ට්ට මේ මහා අවනඩුව කනේ තිබ්බේ මැගිලින්ය. ඇය කිරි කැපිමට අමතරව තව තව රැකියා ගණනාවක්ම කරන්නීය.
ගමේ පිරිමින් බල ගන්වන අමෘත පානය සිල්ලරට ලබා දෙන ව්‍යාපාරය ඇයගේය.
පුසන් ලෙස අඩි ගනිමින් ඇගේ වත්තට ඇතුළුවන්නෝ යලි ඉන් පිට වන්නේ සිංහයන් ලෙස පිමි ගසිමිනි.
ඒ හැරුණු විට ගෙදර අඹුවගේ හොදි මාළු අ⁣පුල වු මාටින් මුදලාලි වගේ පිරිමින්ට මැගිලින්ගේ අප්පල්ලෙන් මුදල් ගෙවා කෑම කෑ හැකිය.
මැගිලින්ගේ ගෙදර ප්‍රාණ භුක්තියට ගත් පිරිමියෙක් නැත.

ලැම්බර්ට් මල් කෑර කෝටුව කඩා ගත්තේ මැගිලින් වල් වැදි වත්තෙනි.

පොඩ්ඩේ යලිත් පිට අත ගැවේය.
එහි පිම්බි තිබු පළු එතරම් රිදුම් නොදුන්නද හිත තුල රිදුම තවමත් පහව ගොස් නැත.
හෙමිහිට මේසයේ ලාච්චුවලට අත දමා ඔහු සෙව්වේ එයයි..

"හරි"

කදුළු අතුරින් පොඩ්ඩේගේ මුවගට සිනහවක් නැඟිණි. හේ,
පර්මා ෂාප් බ්ලේඩ් තලය කොටස් හත අටකට කඩා, එවා කලිසම් සාක්කුවේ තැන්පත් කර ගත්තේය.

ලැම්බර්ට් කුස්සියේ වංගෙඩිය මත වාඩි වි තේ එකක් බොයි.
තව ටිකකින් ඔහු නාන ලිදට යාමට තුවාය ක⁣රේ දා ගනු ඇත.
වහ වහා නාන ලිද දෙසට අඩි කැඩු පොඩ්ඩේ නාන ලිද ඉස්පල්ලේ වු පුවක් ගස් දෙකම අත ගෑවේය...
 ලැම්බර්ට්ගේ පිට අතුල්ලාගන්නේ පුවක් ගසේ කඳෙනි.
එය මැදි ඇත්තේ ලැම්බර්ට් පිට ඇතිල්ලිම නිසාමය.

නාන්නට ගිය ලැම්බර්ට් යලි ආපිට ආවේ දරුණු ලෙස පිටේ වු කැපුම් තුවාල සහිතවය.
සීරියාවතී නාහල්ලේ තෙල් කුප්පිය අවසන් වෙනතෙක්ම ගැල්ලුවද ඒ තෙල් ප්‍රමාණවත් නොවිනි.

පොඩ්ඩේ කිටියා සමඟ සිනහ වෙමින් උන්නේය...
කිටියා උගේ බසින්
" අය්යා මං ඔක්කොම දැක්කා, කමක් නෑ හොද වැඩේ,
මාමා මං බත් ඩිංගක් ඉල්ලලා කකුලේ පැටැලෙන හැමදාකම පයින් ගහනවා,
ඒ හින්දා ඔයා කරපු දේ හොඳයි.."
කිවේය....

18 comments:

  1. මේක නියමයි...

    හැබැයි මුලදී "බාප්පා" කියල කියල තියෙන කොටස පොඩ්ඩක් අපැහැදිලියි...

    ReplyDelete
    Replies
    1. යතුරු ලියද්දී වු වැරදීමක්.....
      ස්තුතියි.

      Delete
  2. හම්මේ ... කතාව ලෙසටම ලියල

    ReplyDelete
  3. තුයියා කොබෙයියෙක්ද?

    ReplyDelete
  4. මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .

    ඔබේ නිර්මාණකරණයට ජය . දිගටම ලියන්න .

    ReplyDelete
  5. කිසිදු ගැටළුවක් නැහැ.
    ඒ ශ්‍රවණය කරන්න පාරත් කියන්න

    ReplyDelete
  6. බොහොම ස්තුතියි ඔබේ අවසරයට මම කතා 2 ක් මුලින් කරන්නම් . පුර්ව පිටපත සහ අවසන් පිටපත ඇතුලත් ලින්ක් එක ඔබේ විද්‍යුත් තැපෑලට එවන්නම් . ඉඩ ලැබෙන විදිහට යූ ටියුබයට එකතු කර මගේ බ්ලොග් එකට එක් කරන්නම් . එතකොට ඔබට කැමති නම් යූ ටියුබ් ලින්ක් එක ඔබේ බ්ලොග් එකට එකතු කරන්න පුළුවන්

    ReplyDelete
  7. දැනට කතා 15 ක් පමණ යු ටියුබයේ තියෙනවා . අහස් ගව්වෙන් එහා ලෝකය මගේ බ්ලොග් අඩවිය හරහා සහ දින නැති දිනපොත නමින් යු ටියුබයෙන් අහන්න පුළුවන් . මේ වනවිට කතා 39 ක් කර තිබෙනවා . ඉඩ ලැබෙන විදිහට සකස් කර යු ටියුබයට මුදා හරිනවා .

    ReplyDelete
  8. ඉදිරි දිනයක දී අහන්න ලැබෙනකම් බලාන ඉන්නම්,
    දැනට පවතින නිර්මාණ කරා පහසුවෙන් යන්න ලින්ක් එකක් එවන්න

    ReplyDelete