Pages

Sunday, September 30, 2018

අපුරු පාඩම

#ටකොස් ටොකොස් හඩ නිසා දහයේ පංතියේ ලමයි හැරුණා.
මොණර පිලේ වර්ණ තැවරුණ සාරියක් ඇදගත් අයෙක් පංතියේ පිල හරහා කාර්යාලයට යමින් හුන්නා.
වර්ෂාවෙන් පසුව පාසල් මිදුලේ තැන තැන වතුර කඩිති.
ඒ මඟ අරවා ගන්නයි ආගන්තුක යුවතිය පිල ඔස්සේ ගියේ.
ඇගේ මුහුණ මත අප්‍රසාදයක ලකුණු සිත්තම් වෙලා.

කාර්යාලයේ වැල් කැඩුණු, කකුළ ලණුවකින් පුරුද්දාපු පුටුවේ විදුහල්පතිවරයාවන කේ. බී මහත්තයා ආසනාරුඪව හුන්නා.
ඔහුගේ ඇදුම දැකපු ආගන්තුක යුවතියගේ මුහුණ මතට තව තවත්  අපුල එක් රොක් වුණා.

ට්‍රික්ෂි අද පාවරවැව ඉස්කොලේට ආවේ තමන්ගේ රැකියාවේ මුල් දවසේ, මුල්ම ඉස්කෝලේ වැඩ භාර ගන්න.
ඇය කෘෂිකර්මය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදරලා තිබ්බා.
නගරයේ ඉස්කෝලේයකට පත්විම හදා ගන්න දන්න තරම් දහිරිය දැම්මාට එක වැඩක් වුණේ නැහැ.
අවසානයේ දී සිතෙන් නොසිතෙන් හද්දා පිටිසරක තිබ්බ පාවරවැව මහ විද්යාලේ කෘෂිකර්ම ගුරුවරිය විදිහට ඇයට එන්ට සිද්ධ වුණා.

කේ. බී මහත්තයා කියන්නේ සිංහල පුහුණු ගුරුවරයෙක් විදිහට සේවය අරඹලා හැකියාව හින්දම විදුහල්පති සේවයට එක්වුණු කෙනෙක්.
සකස්කඩේ, අමාවතුර,  බුත්සරණේ කටපාඩම් නැතත් ඕන තැන්වලදී උපුටා දක්වන හැකියාව තිබුණා.

කේ. බී මහත්තයා වගේ කෙනෙක් විදුහල්පති විදිහට ට්‍රික්ෂි බලාපොරොත්තු වුණේම නැහැ.
ඒ හින්දා ආඩම්බර ස්වරයකින්

"මහත්තයා,
මං ...........එකේ ඩිප් එක කරලා
ආපු ටිචර් කෙනෙක්"

යන හැඳින්විමක් එක්ක සිය පත්විමේ ලිපිය කේ.බී මහත්තයාට දිග් කරා.
බෝතල් මුඩි කණ්නාඩි කුට්ටම යටින් ඇගේ මුහුණ බලපු ගමන් කේ.බී මහත්තයාගේ නිතර තියෙන හිනාව ඇදුණා.......

"ආ........
හොඳමයි නෝන මහත්මයා ,
හරිම සතුටුයි"

ඉතා ඉක්මණින් ලේඛණ කටයුතු හමාර කල කේ. බී මහතා නවක ගුරුවර ගුරුවරියන්ට පිරිනමන මුලික උපදෙස් දෙන්න සිය හම ගැහුණු හිත් මල්ල ඇරියත්,
ට්‍රික්ෂිගේ මානභරිත වතකමල හමුවේ ඒ සියල්ල යලි හිත් මල්ලටම සුරැකිව දමා අගුළු දැම්මේ, බොහොම ප්‍රසන්න හිනාවක් මුව දවටාන.

"එහෙමන මිස්, දැන් බෙල් එකට දහයේ පංතියට යන්න......."
එකට තියෙන්නේ කෘෂිකර්මය ...
⁣හැමෝම කරන්නේ කෘෂිකර්මයම තමයි..
එතක අර කොනේ තියෙන ස්ටාප් කාමරෙන් ඉන්න......."

පිටිසරබද පාසලක් වුණාට පාවරවැව ඉස්කෝලේ බොහොම පිලිවෙලට තිබ්බා.
පංති කාමර ඉස්සරහ දාස් පෙතිය මල් පාත්ති,
තැන් තැන්වල වතුසුද්ද පදුරු.
එත් ට්‍රික්ෂි මිස් ඒ අතරින් බැලුවේ මායිමේ තිබ්බ රක්ෂිතය දිහාවේ..
ඒ අසලින් දිවෙන මඩ වෙච්ච බොරොළු පාර දිහාවේ.

බැල් එක ගහනවාත් එක්ක ට්‍රික්ෂි උඩින් උඩින් පංතියට ගියා.
ලමයි ඔක්කොම නැගිට්ටාම ට්‍රික්ෂිගේ හිතට පොඩි ආඩම්බරකමකුත් කාන්දු වුණා.

"දැන් මොනවද තමුසේලාට තියෙන්නේ"

ළමයින්ට මේ ඇමතුම නම් නුහුරුයි.
ඇයි ඉතිං අනෙක් ගුරුවරු කවුරුත් කතා කරන්නේ පැංචෝ, දරුවෝ, පුතේ , දුවේ කියලනේ,
හෝමාගමින් ආපු ඉංග්‍රීසි සර් නම් ඩියර් කියලා කතා කරන්නේ......
සර් ගමට ගිහිං එද්දී ඇපල් වාගේ නුහුරු මොනවා හරි අරගෙන ඇවිත් හැම දරුවෙක්ටම දෙනවා.
ඉතිං සර් ගම යන දවසට කෝන් කාලේ කෝන්,
දඹ කාලේ නම් දඔ.......
නෙළුම් බට්ටෝ ඔය මොන මොනවා හරි  කොළු කුරුට්ටෝ ගෙනත් ගුරු නිවාසේ ගොඩ කරනවා

ටිකක් වෙලා පංතියම නිහඬ වුණත් ඒ නිහඬ බව බින්දේ ට්‍රික්ෂිමයි....

"ඇයි තමුසෙලාගේ කණ් ඇහෙන්නේ නැද්ද?"

පංතියේ කෙලවර වුන් හින්දැරි සුමනායි උත්තර බැන්දේ........

"කෘෂිකර්මය ටිචර්"

"මේ මතක තියාගන්නවා මට කතා කරද්දී මැඩම් කියනවා......
අනෙක කෘෂිකර්මය නෙමේ මම උගන්වන්නේ කෘෂිවිද්‍යාව
මට එකට ඩිප්ලෝමා එකක් තියෙනවා"

"කෝ තමුසෙලාගේ ෆිල්ඩ් එක බලන්ඩ යං"
තාමත් ට්‍රික්ෂිගේ අපුල මුසු බැලුම් දහරාවේ අඩුවක් නැහැ..

ගුණපාල පංතියේ නායකයා......
ඔහු පංතියේ අයගේ පෙරමුණ ගත්තා.
පේලියට ඔවුන් වගාබිමට ගියා.
මුලින්ම තිබ්බේ පතෝල මැස්සක්..
පතෝල පැංචිවල අග ගලක් එල්ලලා..

"කවුද මේවායේ ගල් එල්ලුවේ, ගලවනවා මේවා........

ට්‍රික්ෂිගේ විධානයට ප්‍රතිචාර දැක්කුවේ ගුණපාල......

"මැඩම් එහෙම ගල් එල්ලුවේ නැත්ත පතෝල කරල ඇද ගහනවා, කරංගැටි වෙනවා...
එකයි ගල් එල්ලුවේ...."


පතෝල පාත්තියට පස්සේ තිබ්⁣බේ මිරිස් පාත්ති........
එකට කෝඩ රෝගේ ඇවිත්......
කරල් කරංගෑටි ගැහිගෙන එනවා ...

"ළමයි මේ මිරිස් කරල් නැමිගෙන එනවා..
එල්ලනවා මේවාටත් ගල්"

ට්‍රික්ෂි ඉක්මණින් පිලියමක් යෝජනා කලත්
ලමයින් සිය මුව මුවා කරමින් නිහඩවම සිනාවෙන්නට වුණා.

Sunday, September 16, 2018

මව්බිම

මව්බිම
*********
ගුණපාල ඉස්කෝලේ මහත්තයාගෙයි සුමනාවතී ඉස්කෝලේ නෝනගෙයි එකම පුත්තරයා චන්දරපාල.
කොල්ලාට දැන් වයස හතක් අටක් විතර ඇති.
ඒ වුනාට ඉතිං කුනු හබ්බ කියන්නේ කටේ තොලේ ගැවෙන්නේ නැතු
ව......
කිප දවසක්ම කොල්ලා දෙන්නාගේ සායම ඇරියා.........
දෙන්නත් එක්ක කතා කරන වාරයක් පාසා මේ ආරෝව ගැන කතා කෙරුවා.....
ආයේ ඉතිං සුමනාවතී ඉස්කෝලේ හාමිනේවත් ගුණපාල මහත්තයාවත් සැර පරුෂ මනුස්සයෝ නෙමේ......
ගමේ පංසලේ ලොකු උන්නාන්සේ ගුණපාලට අෑතින් නෑදෑ අය්යෙක්.....
පණ්ඩිත විභාග එහෙම කරපු හාමුදුරුවෝ .
ඉතිං මේ අවනඩුව අහලා හාමුදුරුවෝම යෝජනා කලා සතියක් හමාරක් පංසලේ පොඩි උන්නාන්සේලා එක්ක නතර කරන්න කියලා.
එකම කොල්ලා උනාට ඉතිං වෙන කොරන්නත් දෙයක් නැති තැන දෙන්නා කැමති වුණා...
දැන් ඉතිං කොල්ලා පංසලේ.....
කොහොමින් හරි සතියක් හමාරක් පහුවුණා...
කොල්ලාගේ සෑහෙන වෙනසක් පෙන්න ගත්තා......
ජෝඩුවටම හරිම සතුටුයි .
ගුණපාල මහත්තයා කල්පනා කලා කොල්ලව ආපිට එක්ක යන්න..
දෙන්නම ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ට කන පිරෙන්න ස්තුති කල්ලා එහෙම පුත්තරයත් එක්ක තැපැල් නයින්ටියට නැග්ගා.
ගුණපාල මහත්තයානේ පදවන්නේ.
මැද්දේ කොල්ලා, පස්සෙම සුමනාවතී නෝනා.

ඔය පංසලේ ඉදං ගුණපාල මහත්තයාගේ ගෙදරට යන පාර ගන්න දෙයක් නෑ.
අලි නිදියන වලවල්.
කොහොම වෙට්ටු දැම්මත් වලක..

"පියාණනි, මව්බිම"
ඔය අතරේ කොල්ලා කෙදුරුවා..
"හා ඔව් පුතේ ලංකාවනේ"
ගුණපාල කිව්වා,

"පියාණනි මව්බිම"

ඒ පාර කොල්ලාගේ හඩ ටිකක් සැරයි.
ගුණපාල ඉතිහාසයක් උගන්වනවානේ ..
ඉතිං යමි ගමන් කොල්ලට ලංකා ඉතිහාසය ගැන කියන්න පටන් ගත්තා......
ඒ පාර ඇලපතට ඇන්න කොල්ලා,

"බොල  හු............... පුතෝ
ආන් තොගේ ගැණි වැටුණා."

මහ හය්යෙන් බෙරිහන් දී කිව්වා

Monday, September 10, 2018

පිය සමර

අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලෙ , මිනි කාමරේට පිටිපස්සේ තිබ්බ ගුරු පාර දෙපැත්තේ යායට ඉබ්බං  ගස් සාරේට හැදිලා තිබ්බා.

ඒ පාර විහිදුනේ කෝටස් වලට.
අපි එහෙමයි කිව්වේ....
කෝටස් කිව්වේ ඉස්පිරිතාලේ සුළු සේවකයන්ගේ නිවාස.
දිග එක නිවාස සංකිර්ණයක ඇදු ගෙවල් දෙකක් තිබ්බා.
එහෙම තිබ්බ නිවාස ගාන දැන් නම් මතක් කර ගන්නවත් අමාරුයි.
එක ගෙදරකට කාමර දෙකකයි .
පොඩි ශාලයකුයි කුස්සියකුය් තිබ්බේ.

පිටිපස්සේ තිබ්බ වැසිකිළිය😱
එකේ වලේ බාල්දියක්නේ තිබ්බේ.
පෙරැමාල් හැමදාම උදේට ඇවිත් එකේ එකතු වෙලා තිබ්බ දේවල් වැසිකිලිය ඉස්සරහ තිබ්බ වලට දාලා වතුර ගහනවා.
එතනින් පස්සේ මල්ලීගෙයි මගෙයි සෙල්ලම් ගේ එක.
අම්මා කොච්චර පැන්නුවත් අපිට එකට නොගිහින් ඉන්න පුළුවන් වුනේ නැහැ.

තාත්තා ඉස්පිරිතාලේ වාට්ටු කම්කරු..
මං නම් හිතාන හිටියේ එයා තමා එකේ ලොක්කා කියලා........

උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.


තාත්තත් එක්ක හතරේ වාට්ටුවට ගියාම දැක්ක දොස්තර දාගෙන හිටපු නලාවට මට ආසා හිතුණා.
එයා ඇදගෙන හිටියේ තාත්තා වගේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි නෙමේ.
සිවනේෂන් දෙස්තර මහත්තයා සාක්කුවේ දාගෙන හිටපු නලාව මං දවසක් හොරෙන්ම ගන්න කොට එයා එක දැක්කා......
හිනා වෙලා ඔලුව අතගාලා
"පුතා ලොකු වෙලා මේකක් ගන්න"
කීවේ නුපුරුදු සිංහලෙන්.....
රංබණ්ඩා මාමයි, හේමා නැන්දයි මේක දැකලා හිනා වුණා..
තාත්තා මාව වඩාගෙන ප
"පුතා හොදට ඉගෙන ගත්තොත් ඔය නලාවක් දාගෙන මේ ඉස්පිරිතාලේට එන්න පුළුවන්"
ඒ කියන වේලාවේ තාත්තාගේ ඇස් දෙක මට දැණුත් මතක් වෙනවා.

තාත්තා ඒ දවස් වල සාමාන්‍ය පෙල ගණිතයට ගණ හැදුවා.
ඉස්තෝප්පු කෑල්ලේ පැදුරක් දාගෙන මුණිතලාවෙලා ගණ හදනකොට මල්ලීයි මායි, පිටේ නගිනවා.....
අම්මා ඇවිත් අපි දෙන්නව ඇදගෙන හිහින් එළියට දානවා.


පස්සේ තාත්තා කොළඹ NTS එකට ගියේ අම්මාවයි , මල්ලීවයි ආච්චිලාගේ ගෙදර නවත්තලා.........
මම බටුවත්තේ ලොකු අම්මාලාගේ ගෙදර ගියේ ඉස්කෝලේ යන්න........


සාමාන්‍ය පෙල පංතියට යද්දී ලොකුවට හිටි තාත්තා පොඩි වෙන්න ගත්තා......
එයා දන්නේ මොනවද?
කියන දේවල් වලට එරෙහිව කතා කරේ ඒ හින්දයි.

කාලය ගත වෙද්දී , මාත් පියෙක් වුණා...
හැබැයි ඒ වෙනකොට තාත්තා ආයෙම ලොකු වෙන්න පටන් අරං........

පහලම තැනින් පටං අර සෑහෙන දුරක් ගිය කෙනෙක් කියන එක ඒ වෙද්දී තේරුණා.
ආකාලයේ හදිසි අනතුරකින් වියෝවුණත් ,
දැන් දන්නවා එතුමා කෙතරම් ධෛර්‍යවන්තයෙක්ද කියන එක.
ඔහු බලාන උන්නේ මම වෛද්‍යවරයෙක් වෙලා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට යාවි කියලා........
එක ඉටු නොවුණත් අද ඉන්න තැනට එන්න හය්ය ලැබුණු විදිහ දැනුයි තේරෙන්නේ.

අද මම මගේ පුතා දිහා බලලා සතුටු වෙන විදිහට ඔහුත් සතුටු වෙන්න ඇති.

Sunday, September 9, 2018

ගුණපාල ගිය මඟුල

"ගුණපාලාආ........"
ඩස්ට් බීන් එක අරං යමින් උන්න ගුණපාල සැනෙන් යු ටර්න් එකකින් ගමන් දිශාව වෙනස් කලා.
ලොකු සර්ගේ සීතල කාමරේ ඇතුලේ තුල්ෂි නෝනාත් ඉන්නවා.
කොහොමටත් තුල්ෂි මිස් වැඩි කාලයක් ඉන්නේ ඒ කාමරේ අතුලෙනේ.
තුල්ෂි ආයතනයේ පරිගණක යෙදවුමි ශිල්පිනිය .
ගුණපාල නිකම්ම නික කාර්යාල සහායක.
පියන්.......
අනිත් අයට නම් නියමිත වැඩක් තිබුණට ගුණපාලට එහෙම එකක් නැහැ.
කරන වැඩ කොලයක ලිව්වොත් හාෆ්ෂිට් කොලයකුත් මදි වෙයි.

"අා ගුණපාල.........
ඉස්සරහ ස්නැක් එකෙන් ජුෂ් දෙකක් අරං එනවා......."
  ගුණපාල දවසකට කිලෝමිටර් හය හතක් ඔපිසියේම ඇවිදිනවා .
ඇයි ඉතිං ඉන්න හැමෝගේම වුවමනා එපාකම් පිරිමහන්න එපායැ.
වැඩක් නැති වේලාවට ඔපිස් එක එලියේ මල් ජාති එළවළු එහෙමත් හැදුවේ ගුණපාලම තමයි........
වෙන ඔපිස් වලට වඩා ලකේට මේ ඔපිසිය තියෙන්න හේතුවත් ගුණපාලම තමයි.
දවසට හය හත් වතාවත් අතුගාලා මොබ් කරලා කිරි කිරි පොළවේ යන්න නෝනාලාට, මැඩම්ලාට, මිස්ලාට පුළුවන් වුණේ ගුණපාල හින්දයි.

කළු විදුරුවට ගුණපාල මුදුගිල්ලේ සුදු යකඩ මුද්දෙන් තට්ටු කරා....
ටිකිස් ටක ටුකුස් සද්දෙට
තඩ් ගාලා කකුල් පො⁣ලාවේ වදින සද්දයක් එකතු වුණා....
එනවා ගුණපාල
ලොකු සර් ටියුඩර්ට ගුණපාලගේ තට්ටුව හුරුයි.
තමුසේ ඉක්මණට ආවා නේද?
තුල්ෂි නෝනා කට පිහිදමින් ඉස්සරහ පුටුවට ආවා.
"ආ මේ ෆයිල් ටික මිස්ට කරුණාරත්නට දෙනවා"
තුල්ෂි මිස් බ්ලවුස් එක පහලට අදිමින් ඇදුම පිලිවෙල කරනවා....

එතකොට තුෂි.... ඔෆිස් එකේ ඔක්කොටම වෙඩිං එක කියනවාද........

ගුණපාලගේ පස්සෙන් එහෙම ඇහුණා..

ආහ්...
තුල්ෂි ම්ස් බඳිනවා එහෙනම්..
කොයි එක්කෙනාවද දන්නේ නැහැ.
ගුණපාලට තුල්ෂි මිස් එක්ක යන මහත්තුරු එක එක්කෙනා මතකයට ආවා.......


හවස තේ බොන වේලාවට සුමනත් එක්ක කාර්යාලයේ දවසේ තොරතුරු හුවමාරු කර ගන්න එක ගුණපාලගේ පුරුද්ද.
මේ ආරංචියට සුමනාගේ වටකුරු ඇස් තවත්  වටකුරු වුණා...
ඇයි ඉතිං තුල්ෂි මිස්ගේ වග විස්තර සුමනාට අරුමයක් නෙමෙයිනේ.


සතියකට හමාරකට පස්සේ සුවඳ ගහන අරුමෝසම් වෙඩිං කාඩ් එකක් ගුණපාලටත් ලැබුණා .
එතනින් පස්සේ ඔපිසියේ මිස්ලා, සර්ලා වෙඩිමට යන එක ගැන බොහොම සාරසුබාවට කතිකා කරනව ගුණපාලට ඇහුණා.
මිස්ලා හැමෝම හැඩ වෙන්න ජනප්‍රිය ටෙලි නිළි ,
වේස් ගැන්විමේ ශිල්පිනියක්ව වෙන් කරගෙන තිබුණා ..

සුමනා නම් වැඩේට පස්ස ගැහැව්වේ එක එක හේතු කාරණා ඉදිරිපත් කරමින්.
එත් ඉතිං එකට වැඩ කරන කෙනෙක්ගේ මඟුලට නොයා කොහොමද?
ගෙදර වැඩ ඉවර කර ගන්නය කියලා පොතේ තිබ්බ සෑහෙන ගණනක් ගුණපාල ආපිට ගත්තා.
හන්දියේ නිපොන් එකෙන් ලා නිල්පාට මල් ඉහිරුණ සාරිය......
එක තේරුවේ ගුණපාල
ගත්තු සල්ලි වලින් දහදාහක්ම සුදුපාට ලියු කවරේ ඇතුලේ.
එකේ මතුපිට
A.M.Gunapala කියලා ලිව්වේ වැල් අකුරෙන්.
ගුණපාල බාහිර උපාධිය කලේ විශ්ව විද්‍යාලේ යන්න ලකුණු මදි වුණ හින්දා නෙමේ.
පොඩ්ඩි උසස් පෙළ කරන්න පටන් ගත්තු හින්දා එකට වියදම් හොයන්න,
ගුණපාල නානාගේ කඩේ බඩු කිරන්න ගියපු හින්දයි .
ගුණපාලගේ මෙට් එක නානා ප්‍රකාර වාහන පෝලිමේ කෙලවරක නැවැත්තුවා.
ඔපිස් ⁣එකේ මිස්ලා හැමෝම එක වගෙයි.
මුණු නික වෙස් මුණු වගෙයි.
හෝටලේට ගියාට පිළිගන්න කවුරුත් නැහැ.
පාට බීම එකක් කොණ්ඩේ පාට කරපු කොල්ලෙක් හැමෝටම බෙදුවා.
කොනේම තිබුණු මේසයක සුමනත් එක්ක ගුණපාල වාඩි වුණා.
දෙදරන සංගීතයට ආපු හැමෝම වගේ නටනවා......
තඩි ඇඟවල් සලිත වෙන එක නම් බලන්නත් හිරිකිතයි.
බුෆේ එකේ කෑම හරිම ලස්සණයි .
දෙන්නත් එක්ක පිගන් දෙකකට බෙදා ගත්තු කෑම මොනවාද කියලා බෝර්ඩ් වල නම් නම් ගහලා තිබ්බා...
පලමු කට කනවත් එක්ක සුමනාගේ කට ඇඹුල් වුණා.
ගුණපාල දිහාට නැඹුරු වෙලා...

"අනේ ගුණේ මේ කෑම වල ලුණු ඇඹුල් මොනවත් නෑනේ...."
මට නම් මේවා කන්න බෑ......

සුමනා හදන කෑම වල සුවඳ එක්ක ලණුවක් වුණත් කන්න පුළුවන් .
ටිකකින් ගුණපාලටත් සුමනාගේ කතාව පසක් වුණා.

කෑවයින්⁣ නොකෑවයින් දෙන්නත් එක්ක ජෝඩුවට කතා කරන්න ගියා.
එතන දිග පෝලිම,
පොටෝ ගහනවා.
සුමනා පස්සට ඇද්දා

"ගුණේ ඔයා ගිහිං ලියු කවරේ දිලා එන්නකෝ."

ගුණපාල සුමනට කිකරු වුණා.
එහෙ මෙහේ රිංගාන ගිහිං තුල්ෂි නෝනට ලියු කවරේ දුන්නා.

"තැන්කු ගුණේ......"

කවරේ අර තුල්ෂි ලග හිටපු ටයිකෝට් කාරයෙක්ට කතා කරන්න හැරුණා.
මනමාලයට ගුණපාල කවුදැයි කීවේත් නැහැ.


"ත්‍රී ස්ටාර්" එක ඉස්සරහ ගුණපාලගේ මේට් එක තිබුණේ පැයකට විතර පස්සේ.
එකේ වේටර්ලා හැමෝම ගුණපාලගේ ගජයෝ.
සුමනයි ගුණපාලයි ⁣වාඩි වෙන්නත් කලින් කඩේ මුදලාලි , තාරික් නානා
"අපේ ගුණේ මල්ලීට ඉස්පැෂල් රයිස් එකක් දාන්න"
 රයිස් සෝමේට අණ දුන්නා

Friday, September 7, 2018

විශාදය

~~…•°•…විශාදය~~…•°•°•…
සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.

ලංකාවේ සමාජය තුල මානසික රෝග පිළිබඳව ඇති අවබෝධය සතුටුදායක මට්ටමට තවමත් පැමිණ නෑ.
මානසික රෝගියෙක් සිටීම පවුලටම නින්දාවක් ලෙස සැලකෙන අතර ඔවුන් “පිස්සන්” ලෙස හංවඩු ගසා සමාජයෙන් කොන් කිරීම සුලභව දැකිය හැක. විශාදය යනු මානසික රෝගී තත්වයක් බව පිළිගැනීමටද ඔවුන් කැමති නෑ. මේ නිසා විශාදය ප්‍රමුඛ මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

විභාග අසමත් වීම, විරහව, සමිපතමයෙකුගේ වියෝව, ගෘහස්ත හිංසනය, අනපේක්ෂිත මුල්‍ය පාඩු වැනි අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට අප සියල්ලන් මුහුණ දෙන අතර මේ දුක කාලයත් සමග පහව යයි. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර මානසික සෞඛ්‍ය ගැටළුවක් ලෙස නොසැලකිය යුතුය.

කෙසේ නමුත් එවැනි සිද්ධි නිසා ඇතිවන ශෝකී බව දිගටම පැවතීමෙන් එය විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.


විශාදය ඇති වීමට හේතු සමහරක් පහත දැක්වේ.
*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)

විශාදය බොහෝ විට සුව කල හැකි අතර  මුල් අවස්ථාවේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක. විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දීමද සිදු වේ. තත්වය උත්සන්න වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.

විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පුරා වුව පැවතිය හැකි අතර වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රෝගය පාලනය වූ පසුව මාස 4-6ක් පමණ යනතුරු ප්‍රතිකාර ලබා දෙයි. නැවත්වීමෙන් පසු 30% කට නැවත විශාදය ඇති වීමේ අවධානමක් පවතින නිසා වෛද්‍යවරයා සමග නිතර සම්බන්ධතා පවත්වාගැනීම ඉතා වැදගත්. එලෙස නැවත විශාදය වැළඳුන අය සහ එවැනි අවධානමක් ඇති අය සඳහා මාස 6-24 දක්වා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙය රෝගයේ තත්වය අනුව වෙනස් වේ.

කෙසේ නමුත් විශාදය මැඩලීමේ විශාලම ගැටලුව වන්නේ සමාජ ආකල්ප, විශාදය පිලිබඳ අනවබෝධය නිසා  මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැලි වීම හේතුවෙන් විශාද තත්වය උත්සන්න වී රැකියා අහිමි වීම, පවුල් ප්‍රශ්න ඇති වීමට, කායික රෝගී තත්ව උත්සන්න වීම හා සිය දිවි නසා ගැනීමට පවා සමහරු යොමු වීමයි.

විශාදයේ  ප්‍රධාන ලක්ෂණ 3කි.
*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම
මීට අමතරව පහත උප ලක්ෂණ  විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.
*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම
***ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක්  ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත්. ***
විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමිපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.

විශාදය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා ගමු.
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වේ තවද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු විය හැක.

මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් සහ යෞවන සමාජ, පාසල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස ඉලක්ක කරගෙන මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.


ඔබත් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් කළ යුතු දේ
*මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
*විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න.
*ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න.
*මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. විශාදය උත්සන්න කිරීමට මත්පැන් හේතු වේ.
*ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න.
*නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න.
*එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.

*පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. (ඔවුන් ඔබේ තත්වය ගැන දැනුවත් වීම සහ ඔබට ඇහුන්කන් දීම ඉතා වැදගත්.)
*මානසික සුවය සඳහා භාවනා කරන්න.
*ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
*සිය දිවි නසා ගැනීමට සිතේ නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හෝ සුමිත්‍රයෝ සේවාව 011 269 2909 / CCC පදනම 1333 අමතන්න.



ඔබේ පවුලේ කෙනෙක්, මිතුරෙක් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් ඔබ කල හැක්කේ මොනවාද?
විශාද තත්වයෙන් පීඩා විඳින අය අන් අයව නුරුස්සන නිසා ඔවුන් වෙත ලඟා වීම අපහසු විය හැක. තමන්ට මානසික රෝගී තත්වයක් ඇති බව පිළිගැනීමට ඔවුන් මැලි විය හැක.

*නිවැරදි මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව යොමු කරන්න.
*ඔවුන්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරන්න.
*ඔවුන්ට ඇහුම් කන් දෙන්න, ඔවුන්ගේ ජිවන ගැටළු විසඳීමට දායක වන්න.
*ඔවුන්ග්ගේ අකාර්යක්ෂම බව, අවධානය යොමු කිරීමේ ගැටළු විශාදය නිසා ඇති වන්නක් බව තේරුම් *ගෙන ඔවුන්ට සංවේදී වන්න.

*හැකිතාක් එදිනෙදා කටයුතු කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න.

*නිසි වෙලාවට ප්‍රතිකාර, ඖෂධ මාත්‍රා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.

විශාද තත්වයෙන් පීඩාවිඳින්නන් සහ  දිවි නසා ගැනීමට සිතුවිලි ඇති අය වේ නම් වහාම පහත දුරකථන අංක අමතා සහය පතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909
CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - 011 7 490 000

පුවත්පත් ඇසුරින් සකසන ලදී

Tuesday, September 4, 2018

බලු උගුල

කන පල්ලේ පිපිරුන හෙන හඩින් මගේ දුරකතන හුරතලිය නොවැටුණේ එය එතරම් තදින් මගේ අතට ගුලි ව තිබු නිසාමය.
කොහොමටත් නිවාඩු දින වල මේ මේඝ ගර්ජනා අරුමයක්යැ......
සුන්දරීයට මගේ සරම ඇද යට වලල්ල තිබුණත්, තේ කෝප්පයේ ඇඹලයන් නිවාස ව්‍යාපෘතියක් සාදාගෙන සිටියත් ඒම මදෑ හෙන පිපීරිමට........

කොස්ස එක අතකට ගෙන රෙද්ද අනිත් අතෙන් අල්ලා ගෙන රොස නැයිනියක් ලෙස ඈ පුප්පයි පිඹියි.....

ඈ...... මං කී පාරක් තමුසේට කිව්වද අර බලු හැතිකරේ වත්තට රිංගාන හැම තැනම බෙටි ගහලා......
අර ඇන්තුරියම් පාත්ති ඔක්කොම අවුස්සලා,
කොයි වෙලේ බැලුවත් ඔය හත්තිලව්ව අතගාන එකමයි වැඩේ....

මේ බලු හැතිකරයක් මටම වද දෙන්න මේ වත්තටම රිගන හැටි.
අර අල්ලපු පෙරේරා මහත්තයාගේ අක්කර කාලක තඩි ඉඩමට පලයව්කෝ.....
මේ පර්චස් දහයටම පනින්නේ....

දිය බසින්නේ පහත් තැනිනි. මේ ඌරු සුනඛයන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය. එසේ වුණොත් අද රාත්‍රීය සොදුරු රාත්‍රීයක් වේවි..
නාරද දිසාසේකර කියන සිංදුවක් මට සිහි වුණා.......
"අපිටත් දවසක හඳ පායනවා.
එදා අපිත් මල් පැණියෙන් නානවා"

පුරුෂ ධෛර්ය සරම තුල නැග එනු මටම දැණුනි.
බලු ක්‍රියාන්විතයට මම මගේ දුරකතන හුරතලිය ක්‍රියා විරහිත කලෙමි.


පරණ ඇළුමිනියම් පිඟානක් හොයාගෙන එයට වයරයක් මාට්ටු කෙරුවෙමි.
කොල්ලාගේ කුක්කු බෝතලයේ ඉතුරුව තිබු කුක්කු ඒයට දැමිමි.......
වයරය ගෙන ගොස් ප්ලග් එකක නියුටල් හිලට දමා මගේ බලු උගුල සහ බලු හෝඩියේ කටයුතු අවසන් කෙරුවෙමි.
කිරි පිඟාන සුන්දරියගේ ඇන්තුරියම් මල් ගොන්න මත තබා උගුලේ සාර්ථක බව දැක ගැනීමට බලා හිටියා.........
මුලින්ම ආවේ නැට්ට කොට කළුවා..ඒ සිරිපාලගේ බල්ලා......
ඌ දැකපු දේ අදහගන්න බැරුවා වාගේ පිඟාන වටේ ටිකක් කැරකුණා......

සතුටෙන් කෙඳිරි ගෑව කළුවා පලවෙනි උගුර බොනකොටම මං ස්විච් එක දැම්මා.
කළුවා බැගිරි ගාගෙන අඩි දෙක තුනක් උඩින් ඇන්තුරියම් පැලයක් උඩට පැනපි.
මේ හදිසියේ ආ විපිරියාසේ මොකක්දැයි හිතාගන්න බැරුව ටිකක් බලාන හිටියා.
ආයෙම හෙමිහිට පිගානට ලං වෙලා දිව දැම්මා විතරයි........
සැඟවුණු ප්‍රහාරකයාගේ ප්‍රහාරය.....
ටික වේලාවකින්ම අපේ වත්ත වැසිකිලිය කර ගන්න දඩෝරියෝ සැට් එකම කිරි පිගානේ වටේ වාඩිවෙලා සම්මන්ත්‍රණයක.
මේ වෙනකොට හිතට දිරි ගත්තු කළුවා ආයෙම කුක්කු බොන්න ආවා........
හැබැයි ඉතිං ඒ පාරනම් කරනමක් ගහාගෙනම නැට්⁣ට අමුඩේ ගහගෙනම දුවන්න පටන් ගත්තේ පස්සවත් බලන්නේ නැතුව........
උගේ පස්සෙන් අනෙත් දඩෝරියෝ සැට් එකත් එකතු වුණා.......

Sunday, September 2, 2018

ඔබේම වි මම, මගේම වි ඔබ

කාලය යයි ඉගිලි
*****************
විසිරෙමින් තිබු හරුප, අහස්යානා මෙන්ම ප්‍රමෝද ප්‍රහර්ශයන්ද එක්වැනම නතර විය.
අහා..........
ඒ ගණිතැදුරුගේ පංති සම්ප්‍රාප්තිය සිදුවන අසිරිමත් මොහොතයි...
සිරිවර්ධන සර් (කවුරුත් කිව්වේ නම් ලපයා නැත්තං සිරා) ඉස්කෝලේ ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ සැර පරුෂ ගුරුවරයෙක් විදිහටයි.
ඒ කාලේ දැන් වාගේ මානව හිමිකම් ලමයින්ට තිබ්බේ නැහැනේ😀...
ඒ හින්දා සර් පංතියෙන් යද්දී කම්මුල රතු වෙච්ච කමිසේ බොත්තම් කැඩිච්ච අය දෙතුන් දෙනෙක්ම උන්නා...
සර් තමයි දහයේ පංති පහේම ගණ සර්..
 බොනී අය්යගේ කඩෙන් සිගරැට් ගෙන්න ගන්නේ මට කියලා .
ඇය් මං දහයේ පහ පංතියේ නායකයානේ.

පංතියේ උන්නු සුමනා හැඩකාරී, දඟකාරී.
හැබැයි ගොන් බදින කණුව. ඒ වුණාට අෑ සඳහා තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්.
සමහර වේලාවට මාත් ඇයගේ රෝසපාට කම්මුලේ සුළිය දිහා හොරෙන් බලාන හිටියා😂
පංතියේ ගණන් කාරයා චන්දන. ගණකාරයා කිව්වට මං පොළවේ කකුල් හැප්පුවත් මුණ කළු වෙනවා....
චන්දන සහ සුමනා අතර පොඩියට වගේ එව්වා මෙව්වා එකක් තිබ්බා .
දැන් සිරිවර්ධන සර් පාඩම කරගෙන යනවා.

"ත්‍රිකෝණ අංගසම වීම'

තිකෝණ ජෝඩු ඇදලා අංගසම අවස්ථාව සර් කියන කෙනා කියන්න ඕන....
සර්ගේ ඇඟිල්ල සුමනාට දික් වුනා
සුමනා

" ප.කෝ.ප.කෝ" 

කියද්දී එහා පංතියේ එකාලත් සිරික්කියේ අඩුපාඩු මැකුවා....

"යකෝ උඹ බැදලා ළමයා උඹේන් ගාණක් ඇහැව්වොත් මොකද කරන්නේ"

හෝල් එකේ පංති පහටම උගන්නන ගාණට සිරිවර්ධන සර්ගේ සද්දේ
සුමනා සිමෙන්ති පොළව සපත්තුවෙන් හාර හාර
"පුතේ තාත්තාගෙන් අහ ගන්න කියනවා"
චන්දන දිහැවේ කෝලං බැල්ලමක් හෙලමිනුයි

පසු කාලයකදී මේ දෙ⁣දෙනා විවාහ වුණා