Pages

Showing posts with label ආවර්ජනා. Show all posts
Showing posts with label ආවර්ජනා. Show all posts

Monday, March 1, 2021

වයලා

 *** වයලා**


අඹ ගහේ එල්ලී උන් බස් රීම් එකට,
රේල් ඇනේකින්
රංජී අය්යා තලාගෙන තලාගෙන ගියා...



ටං ටං ටං සද්දෙ පාවරවැව ඉස්කෝලෙන් එලියට පැනලා තිස්ඹබේත් පහුකරාන
නීකිනියාව වැව්බන්ටෙකටම ගියා.
මග දෙපස සිරි අසිරිය බල බලා
ඉස්කෝලේ එන්න ගාටපු කොළු කෙල්ලො
තමන්ගේ ගමන ඉක්මන් කරේ,
ඊලග සද්දෙට කලින් නොගියොත් කළුබංඩා මහත්තයාගේ ගිනිසැර ඇස්බැල්මට මුලිච්චි වෙන හින්දයි.


"මොකද උඹ.......
පස්සට ඉර වැටෙනකන් බුදියා ගත්තේ"

අහද්දී
එක දවසක් සෝමයාගේ දෙපැරැන්දෙන්
ගඟක් ගලන්න ගත්තා.


පාවරවැව ඉස්කෝලේ තිබ්බේ නීකිනියාව වැවට උඩින්.
වැවයි ඉස්කෝලේයි මැද්දේ තිස්ඹබේ වෙල.
වෙල අද්දර පුරාන විහාරය.
පන්සලට ඉස්කෝලේ පෙනවා.
ගම් මණ්ඩියේ ඉදන් එන කොළු කෙල්ලෝ ඉස්කෝලේට එන්නේ වැව් බන්ටෙක දිගේ.
පාවරවැව ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා ,
කළුබංඩා .......
ගං පලාත නම් ගම්පහ පැත්තේ ,
දැන් ඉස්කෝලේ ගුරු නිවාසේ තමන්ගේ නිවාසේ කරගෙන සුමනාවතී ඉස්කෝලේ හාමිනේයි, කෙල්ලෝ තුන් දෙනයිදෙක්කම ඉන්නේ .
ගරා වැටි තිබ්බ පාවරවැව ඉස්කෝලේට
හඳ පැයුවා වාගේ එළියක් ආවේ,
කළුබංඩා මහත්තයා ආවට පස්සේ ,
ගංගොඩේ කරක් ගහලා,
ඉස්කෝලේට නොඑන කොළු කෙල්ලියන්ගේ අප්පලා මොලාට හොද පදෙන් කියපු හින්දා දැන් ගංකරේ ඉස්කෝලේට නේන කොළු කෙල්ලෝ නැති ගානයි.
ඉස්කෝලේ වත්තේ වැට ගැහැව්වේ
ගමේ⁣ම කාණ්ඩේ එක්කාසු කරාන,
ඒ වැට තහනමත් එක්ක,
ඉබාගතේ කකා යමින් ,
ඉස්කෝලේ වත්තටත් ආපු හරක් රෑනට වෙන අතක් බලා ගන්ට උනා.
ලොකු මහත්තයාගේ නෝනට ලොකු ඉස්කෝලේ හාමිනේ කිව්වට උන්දැ ඉස්කෝලේ උගන්වන්නේ නෑ........

ලොකු මහත්තයාට උන්නේ කෙල්ලෝම තුන්දෙනෙක්..........
වයලා බඩ පිස්සී
හයේ පංතියට පාස් වුනේ මේ අවුරුද්දේ .......
සුමනාවතී හාමිනේ ගුරු නිවහනේ ඉදිරිපිට මැස්සක
සමන් පිච්ච වැලක් ඉන්දා තිබ්බා.
කොයිතරම් පැයිල්ලක උනත්
සමන්පිච්ච වැලට ඉස්මුරිතෙ හැදෙන්න
වතුර වක්කොරනවා.
වැතිනම් වක්කොරොනවා,
ලොකු ඉස්කෝලේ මහත්තයා
ලොකු ඉස්කෝලේ ඇත්තන්ටනේ
සැප සාත්තු නොඅඩුව ලැබුණු  හින්දා සමන්පිච්ච වැල සාරේට දළු ලාඑන්න වැඩි කලක් ගියේ නෑ.
ඕන් පහුණු දවසක කාගේ කාගේ හිනා මල් වත මත්තේ පිපුණේ,
වැල අග්ගිස්සේ කෝඩුකාර සමන්පිච්ච කැකුළු දැකලා..

වයලා ලං කරගෙන ලොකු හාමිනේ කටුකු⁣ටු ගැවා.
වයලා තම අප්පච්චිගෙන් ලැබුණු තරු කරාබු කුට්ටම හුරතල් කරා

"දැන් ඉතිං උඹ ඉස්සර වාගේ ගස් බඩගානවා නෙවෙයි,
ඔය වස්තර ඇතුල පරෙස්සම් කර ගනින්,
දළදා කරඩුව වාගේ.....

පංසලේ මල් වට්ටිය වාගේ ඇවිත් උන්නු නෑ බබලතීයන්ගේ දැනමුතුකම් වලට කන් දෙන්න වයලා මාරු වුණා.
එදා රෑ දෙසොයුරියන් මැද්දැවේ වයලා නින්දට ගියේ කන් දෙකම පිරෙන්නැහේ ලැබුණු දැනමුතු කන්දරාව එක්ක.
එව්වට වැඩිය වයලාගේ හිත ගත්තේ නම්
සයිබෝඩ් එක උඩයි ඇතුලෙයි බ්‍රවුන් පේපර් වැසුම් ඇතුලේ තිබ්බ ප්‍රසාදයි.

ඉස්කෝලේ විද්‍යාව උගන්වන්නේ නාමරත්න මහත්තයා ,
නාමරත්න මහත්තයා එන්නේ බියුක් බයිසිකල් එක්කින්,
අල්ලාපු ගමේ ඉදන්..
කන ගාව සයිඩ් බන්ස් උඩු රවුලත් එක්ක කට දෙපැත්තෙන් එකතු වෙලා තිබ්බා....
නාමරත්න මහත්තයා ඇන්දේ බැල්බොටම්.
නාමරත්න මහත්තයා පංතියට ආවේ පංතියම මහ සැර සුවදකින් පුරවාන.
උගන්වද්දී ඔය සුවද වැඩිපුරම
හමා ගියේ ගෑණු ළමයින් ඉන්න පැත්තේ .

එකපාරටම වයලාගේ කන ගාව කරකුණු හීතල හුල පාරට ,
වයලාගේ පටි සෙරෙප්පු යට ඉදන්ම හීතල වුණා.

"මොකැයි මේ නාමරත්න මහත්තයාට වෙලා තියෙන්නේ ,
කනට පුගන්නේ....."
වයලා හැරි බලද්දී ඇස් පුංචි කර හිනාවක් දාපු නාමරත්න මහත්තයා වම් පැත්තේ උන්නු කුසුමලතා ගාවට මාරු වුණා.
ඇස් යට්න් බලාපුවාම නාමරත්න සර්
කුසුමලතාගේ කිහිල්ලට අනිනවා පෙනුනට
කුසුමලතා ගැස්සුනේ නෑ.

සිකුරාදා  නාමලේඛන පොත් ගන්න ස්ටාප් කාමරේට වයලා විතරයි ගියේ,
පංති නායිකාවන්ට ඉස්කෝලේ තනියම යන්න අවසර තිබ්බා ,
අනෙක වයලා ලොකු මහත්තයාගේ පොඩි දුවනේ.....

නාමරත්න මහත්තයා උනුවතුර බෝතලේකින් තේ වතුර,
කෝප්පයකට වක්කරමින් හිටියේ,

"අප්පේ අපේ ලොකු මහත්තයාගේ චුටි මැණිකගේ හැඩ,
මං මේ බලාන හිටියේ අර ජංගී කොට ඇදගෙන දුවපි ඇට්ටිබි කෙල්ල හැඩවෙච්චි හැඩවිල්ල..........
මට දැනුත් එහෙම බලන්න ආසයි කෙල්ලේ..."

වයලාගේ කන් ඇතුලට මේ රිංගපු වචන හෝ ගා දෝංකාර දෙන්න ගත්තා.
වයලා තොල් වලට දිව ගෙනිච්චේ
එව්වා හරි ඉක්මනට වේලි ගිය හින්දා .

"මෙහේ එනවකෝ ටිකක්,"

ස්ටාප් කාමරේ සන්ලයිට් මේසේ උඩින් ආපු හිනි අතකින් වයලාගේ අත කිටි කිටියේ අල්ල ගත්තා ,
අනෙක් අත පංතිනායිකා පදක්කම සාවියේ හක්කලන් කරන්න පටන් ගත්තා

වයලාගේ කනට එදා අම්මා, නැන්දා, පුංචිලා කියපු වචන පෙරහැරේ එන්න පටන් ගත්තේ ,
හිත ඇතුලේ දඩ බඩ ගාලා ගැහුන බෙර තාලේට,

නිදහස් අතෙන් උනුවතුර බෝතලේ අරන්
තපස්  ගාලා උනු තේ වලින්,
නාමරත්න මහත්තයාව නැව්වේ
වයලා⁣ නෙමෙයි,
අම්මා, නැන්දා පුංචිලා......

"අම්මේහ් ......."
පිලිස්සුම් හඩකින් නාමරත්න මහත්තයා වයලාව අතඇරියා....
වයලා කිරිල්ලියක් වුණා.
ඒත් වැහැව්වේ පංතියේ නෙමෙයි.
ගුරු නිවාසේ දෙපියන් දොර දඩාස් ගා ඇරගෙන
හති හලමින් ⁣රිංගපු වයලා දැකපු
ඉස්කෝලේ හාමිනේගේ ඇස් උඩ ගියා.
මොකෝ යකෝ
මේ මහසෝනා දැක්කා වගේ මේ උදේ....

"ආ...ම්....හ්..
නෑ.....
අම්මේ......
මං මේ භුගෝලේ පොත ගෙනිහින් නෑ..."

"වලාමේ කට කැඩෙනක කියනවා නේද?
රාත්තිරියේ ඔය අඩුම කුඩුම සුජානං කරගන්ටෙයි කියලා...."

කුස්සියට රිංගා ගත් වයලා,
පොල් කටු දෙකක්ම කොත ගහලා ගත්තු වතුර වලින් බඩේ ගින්න නිවා ගත්තා,
ඒ වෙද්දී හිතේ ගින්දර යංත නිමෙන්න පටන් අරන්,

"වයලෝ, වයලෝ
අන්න අර කාන්ඩේ දුවන්නේ මොකදැයි බලාපං......."

කළු බංඩා මහත්තයා පෙරටු කරගත්
ගුරු මණ්ඩලයේ මහත්තුරු ටිකයි
වයලාගේ අක්කලාගේ පංතියේ අය්යලා ටිකයි රෑනට
පාර පැත්තට දුවනවා.

..........................
නාමරත්න මහත්තයා ,
උදේ තේ බොන්ඩ යද්දී කැරකිල්ලක් අල්ලලා වැටිලා,
ඇගපත පුරාම තේ.....
ඉතිං මං ගෙදර ගිහින් රෙදි මාරු කරගෙන
එන්ඩ යැව්වා.....
මඟදි කබරයා
අර තනියා
ඒකා මේ දවස්වල ගං මණ්ඩියට ඇවිල්ලාලු.......
මහ නුගේ ගාවදී නාමරත්න මහත්තයාගේ කට උඩ.......
කරුමේ තමයි.......
බයිසිකලේ කුඩු පට්ටම්

වයලාගේ ඇස් වලට කඳුලක් ආවට ඒ දුකකට නෙමෙයි.
පපුව පිරෙන්න හුස්මක් ගත්තු වයලා
අත්ගොබේ පිරි මැද්දා......
...............නිමි.....................



























Thursday, July 16, 2020

තනියා

ක්‍රීං හඩින්, කෑගාන රැහැය් ඝෝෂාව පිරුණ කුරටියා යාය මැද්දේ
බයිසිකලේ ඉස්සරහට ගියා.
තඩි වලක් මග අරවන කොට තව වලක් .
වලක නොවැටි යන්න මාතලීයටත් බැරි වෙයි.
රොට්ටුවක් වු මේ පාර යංතං කපාලා බස් එකක් දැම්මට ,
්‍වැහි කාලේට බොර වතුර වලවල් පිරුන ගඟක්......මරදංකල්ලේ ටවුමේ ඉදං හෙන්ඩාඬුව ගමට හැතැප්ම පහයි.
ඔය පාර
අවුරුදු හතකට වතාවක් හදා දෙන්න කට්ටිය ආවට,
තාමත් ඉතිං හැදිලා නෑ.

හෙන්ඩාඬුව වැව ,
අගෝස්තු පෑයීල්ල දරා ගන්න බැරුව,
දිය කඩිති කිහිපයකට හැරිලා.
එයින් කිපයක දපාන උන් මීවස්සෝ
කම්මැලිකමට බුලත් හපනවා.
තැන් තැන්වල මැරී උන්නු කාවය්යෝ, මඩකරියෝ බෙදා ගන්න බැරිව
බලු නාම්බෝ දෙතුන් දෙනෙක් ගිනි රංඩුවක්.

සිරිල් ඉස්කෝලේ මහත්තයාගේ දෝණි,
චූලනී, ගමේ ඉස්කෝලේන් සාමාන්‍ය පෙළ පාස් වෙලා ටවුමේ ඉස්කෝලේට ගියේ උසස් පෙළ කරන්න ,
පළවෙනි පාර පාස් වුණත් ,
වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදී හින්දා ,
කුරුණෑගල පංති යනවා.
ඒ සති අන්තයේ,
පංති ගිහින් මරදංකල්ලේ ටවුමේ බහිද්දී හත අට වෙනවා.
ගමේ බස් එක ගිහින් තිබ්බොත්,
සිරිල් ඉස්කෝලේ මහත්මයා
තමුන්ගෙ මෝටබයිසිකලේ ටවුමට එන්න ඕන, කෙල්ල අරං යන්න.
ගමන නම් කෙටියි.
ඒත් ඔය වේලාවට අලි එලි බහිනවා.
අලි රංචුව නම් ගණන් ගන්න ඕන නෑ.
එත් තනියා නපුරා.
අණ ගුණ නෑ.
මුණට මුලිච්චි වුණොත් සෙල්ලං නෑ.
මාස ගාණකට කලියෙන්,
පුට් සයිකලේ ආපු ගුණා මාමාට තනියා ගහලා,
එතන රැකගෙනත් උන්නා.
වනජීවියේ මහත්තුරු ඇවිත් අලිවෙඩි දාලා තනියා එලොලයි, මිනිය අර දුන්නේ,

අප්පච්චි.......
ඇයි පරක්කු උනේ..."
"මොන පරක්කුවක්දැ, කෝල් එක ගන්නකොට , මං උන්නේ කව්පි කෑල්ලේ,
දන්නවානේ පාරේ හැටි......"

"හා යන්......."

"මේ චුටි දුවේ ,
ඕන් යන්න කලියෙන් කියන්නේ ....
අලියා හෙම පාරට ආවොත් කෑ ගානවා නෙවෙයි.
ගලක් වගේ ඉන්ඩොනි....."

"අය්යෝ අප්පච්චියේ ,
බය කරන්ඩ එපා ඕං......"

තම්බිගේ කඩෙන් බුලත් විඩක් ද ගත් සිරිපාල ඉස්කෝලේ මහත්මයා ,
බයිසිකලේ පණ ගැන්නුවා.

කොස්සොකන්ද පන්නලා ,
තම්බිපලියන්කුලම හරියට එද්දී,
ලොරි කාරයෙක් අස් ගහගෙන ගියේ
අලි ඉන්න බවට.
ඒත් ඒ කියලා ඉතිං හිටින්න බෑ.
චුටි දෝණිට හෙටත් පංති .
ඉක්මන් කරපු තරමට
නා ගන්න, අද සටහන් ටික බලා කියා ගන්න කාලය ලැබෙනවා.
කෙල තලියකින් මග පඬුපාට තණකොල ගොල්ල රතු කරාපු සිරිල් මහත්තයා,
හොද හුස්මකින් පපුව පුරෝන ,
බයිසිකලේ රේස් කරා......

"අප්.....ප....ච්චි...."

දෝණි සිරිල් මහත්තයාගේ උර කිටි කිටියේ මිරිකන ගාමින් කෑ ගාවා...
තනියා......
පාර මැද දූවිලි නානවා.
හදිසි ආගන්තුකයා දෙස උගුර යටින් ගුගරමින්
තනියා බැලුවේ නෝක්කාඩු බැල්ලමක්.
සිරිල් මහත්තයාගේ බුලත් බිඩේ වෙලෙන්න ඒ හැටි වේලාවක් ගියේ නෑ.
දෝණි නොහිටින්න මේ වෙනකොටත්
සිරිල් මහත්තයා ලග දිවුල් ගහ මුදුණේ.

සිරිල් මහත්තයාට තම සීයා කියා දුන් ඒ මන්තරේ මතක් වුණේ අහම්බෙන්

"ඕම් ශ්‍රීරාළි
ෂිතා භාතා
ගාවන්ති"

කුරටියා කෑලේ ගුගුරවමින් සිරිල් මහත්තයාගේ ගැඹුරු හඩ කා වැදුණා.
කන් සොලවමින් විමැසුම් බැල්මක් හෙළු
තනියා,
සිරිල් මහත්තයා දෙවන වර මතුරද්දී,
නගුට අමුඩේ ගසා ගනිමින් කැළැයට පිමි ගහැව්වා.

"අප්පච්චි...."

සිරිල් මහත්තයාගේ උරට කාවැදි දියණියගේ ඇගිලි බුරුල් වුණා...

Thursday, August 22, 2019

කොළ පෑගිල්ල

සීයාගේ කතා
අපේ සීයා කොහොඹයාය.
උන්දැට ඒ නම වැටි ඇත්තේ ගම කොහොඹගස්කඩ නිසාය.
නැතිනම් උන්දැගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ඩිංගිරිබංඩා කියාය.
ඔය සහතිකවල ඇති නම් ගමේ එකලා පාවිච්චියට ගන්නේ නැතිය.
එවුන් තම තමන්ගේ පහසුවට ගමේ එකලාට එකීලාට නම දමා ගන්නවාය.
ඒ නිසා ඒ කාලයේ
කාක්කි, ලේනා, ලේනී නම් තියෙන මිනිසුන් ද ගමේ සිටියෝය.

අපේ සීයාගේ ඇඹේණීය වු මාගේ අම්මාගේ මව ඔහුගේ හත්වැනි ගැණිබව සටහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.
උන්දැගේ ලොකුම මුණුපුරා ඒ අතින් අහිංසකයෙකි.
අපේ ආච්චිව සීයා තම නිවසට කැන්දාගෙන ඒමේදී,
ඉදිකඩුල්ල පන්නාගෙන ඇත්තේ වඩාගෙනය.
ඒ වන විට ආච්චිගේ වයස අවුරුදු දොළහක් බව අම්මා කියා ඇත.
ඒ වාගේම
නිවාඩුවට ගම ගියවිට,
රාත්‍රී නින්දට පෙරාතුව කතාන්දර කියන විටත් ආච්චි මේ ගැන කීවේ

"ඔය මිනිහා මාව කොක්කබිල්ලේ ගහගෙනනේ ඉදිකඩුල්ල පැන්නේ,

අදක නම් මෙව්වා බාලාපරාධය.
එහෙත් එකල කෙල්ලක නාවා ගෙට ගත්තායින් පසු දීගෙක දිම සිරිත බව ආච්චි කිවේ කතාන්දර සැසියකදීමය.
සීයා පිටගංකාරයා වෙච්චි .
ගම්මැද්දේ ගෙදර ආච්චිගේ මලයා වු පූලා සීයාටම පංගාඩම් කර,
සිය මිත්තර මල්ලීයා සමඟ අළුත් ඉඩම් හොයාන පිටගං වෙච්චි.
මහගල ගාව නිවුන් ඉඩම් කාල් දෙකක ගේ හදා ගත්තේ එහෙමයි.
හැබැයි ඉතිං ඔය ඉඩම්වල වැට ගහන දවසක් ඇත්නම් පොඩි ගෝරනාඩුවක් නම් වැරදුනේ නෑ.....
සීයා හිටවන එඩරු දඩු මල්ලීයා සීයා ගලවලා විසිකරනවා,
මල්ලීයා සියාගේ එඩරු දඩු අපේ සීයා ගලවලා උසික්කා කරනවා.
කොහොමින් හරි වතුදෙක අතර හරි හමන් වැටක් නම් උන්දලා ඉන්දැද්දී තිබ්බේ නැතුවා.

සීයාට කුඹුරු හතරයි.
තිඹිරිවැවේ කාලයි, අසුවේ කාලයි, දහඅටේ කාලයි......
කාලක් කිව්වට අක්කර වලින් නම් දෙකක් දෙකාමාරකට කිට්ටුයි .
මේ අලකලංචිය වුනෙු ට්‍රැක්ටරේ ගම ආපු අලුත.
තිඹිරි වැවේ කැපුම් හමාර කරලා කොළ පාගන්න ට්‍රැක්ටරේ ඩ්‍රැයිවරයා වු චොසාට කිව්වා.......
ගමටම තිබ්බ එකම ට්‍රැක්ටරේ චොසාගේ ට්‍රැක්ටරේ .
මටත් මතකයිනේ චොසා එකේ යන්නේ එරොප්ලේන් එකක වගේ.
බෙල්ල පල්ලේ කමිස කරට යටින් ලේන්සුවක් එහෙම දාගෙන.....
හයුයෝ දෙය්යෝ......


එක විඩයක් නෙමෙයි දහදොලාස් වතාවක් එකා නවාතැන් අරන් උන්නු මහකඩේටයි, කමත් ගානෙයි ගිහින් සීයාට මරු නැග්ගා...
ඔන්න එදාත් උදේ රැයින් ට්‍රැක්ටර් පාරේ ගියේ,

"අදවත් මේ වැඩෙන් බේරෙන්න ඕන බොලල්ලා කියමින්"

පැයකට දෙකකට පස්සේ සීයා ගෙදරට ආවේ නගුට ගහමින් ආලවන්තකම් පාන්න ගිය රාජටත් පයින් සලකමින් .
රාජා බෑගිරි ගාමින් අටුපල්ලේ රිංගා ගත්තේ මෙවුන්දාට ආවේශ වු යක්නාම්බා මොකාදැයි හිතමින් වෙන්ටැ..

"යෝදියේ ,
මට ඔය වංගෙඩි දෙක එළියට පෙරලා දියන්....."

ආච්චි මේ වාගේ වෙලාවට කියු දේ කරනවා මිසක් ආයේ මීක් කියන්න යන්නේ නෑ......

සීයා, සීයාගේ ඊස්ටන් බයිසිකලේ රෝදා දෙක ගැලෙව්වා.
හයි කරා වංගෙඩි .......
එහෙම්ම පැගුවා කමතට.
උන්දැගේ තරහ අහවර වුණේ, දෙපැත්තේ මල්ලීයා සීයාගෙයි,
මල්ලා උන්දාගෙයි කොළ දෙකත් පැගුවාට පස්සෙයි........

Sunday, March 24, 2019

මාළු බාමුද?



හෝ ගාලා වැස්ස.
පිදුරු පලෙන් බේරෙන වතුර කහ පාටයි.
මලයාටයි මායි නිවස අඩස්සියේ .
දෙය්යනේ දෙසැම්බර් නිවාඩුවට වෙච්ච දෙයක්.

කිරි පිටි ටික ටික කිරි පිටි ටික
ටාක් ⁣ටාක් ක්වාක්
හුටාක් හුටාක් හුටාක්

ගෙබ්බෝ එක සිරුවට සිංදු කියන්නේ දඹ ගහ ගාව බාගෙට ගොඩ වේච්ච සීයාගේ ලිදේ ඉදන්.
අපි දෙන්නත් ගෙම්බන්ට එකතු වුණා.

"යකෝ කට පියාගෙන ඉදපියව්කෝ
කනක් ඇහිලා ඉන්න නෑනේ"
මාමාගේ ගෝරනාඩුවට අපි දෙන්නාගේ ගෙබි ගී නම් නැවතුණාට ගෙම්බන්ට නම් වගේ වගක් නෑ.
උන් තවත් අළුත් ශද්ද හදා හදා උන්ගේ බජව්ව දිගටම කරගෙන ගියා..

පහුවදා නම් රිටිගලට උඩින් ඉර අමාරුවෙන් එඹිලා හිටියා.
අම්මා හදපු කුරහන් රොටිය කුරපලා හැදිගාපුවත් ඉක්මණට ගිලදැම්මේ අපි එනක සනතා බලාන ඉන්න බව දන්න හින්දා.

මල්ලීයි මායි ඉදිකඩුල්ලේ උඩ ඉදන් හූ කිව්වා.....
ඒ හූව තමා කැදවුම් සංඥාව .
සරම කැහිපොට කවමින් ෂර්ලියාගේ කාර් එක ආච්චිලාගේ කොහු අඹ ගාව දී අමාරුවෙන් බ්‍රේක් ගැහැව්වා..
"ඒ අන්න ඉහලාඹතලේ වාන් දානවළු..
යමු මාළු බාන්න"
"ආයිෂ් අප්පා අන්න මරු එත්
කෝ බං බිලි පිති"
"හෑ......එක තමා යමව්කෝ සනතා ගාවට"
අපි තුන් දෙනාම කාර් ඉස්ටාට් කරගත්තා.
මල්ලීගේ කාර් එක අළුත් එකක්.
එක තමා පෙරමුණ ගත්තේ.
අපි යද්දී සනතා තාත්තාගේ මේල් නයින්ටියේ නැගගෙන එකතැන පදිනවා.
තාත්තා ලගක නැතුව ඇති නැත්ත ඉතිං සනාතට බයිසිකලේ පැත්තට එන්න දෙන එකක්යැ.
සනතාගේ අක්කා රංජා, කිරි අම්මාත්දෙක්ක (කිරිඅම්මා කිව්වාට ඈ වයස අවුරුදු දොලහක ගැටිස්සියක්,ගැටිස්සියක් කිවාට කිරිඅම්මා නම් ලෑලි කෙල්ලකි) ලිදට යන්න සුදානම.
දත් මදින්න කාපු අඟුරු හින්දා දෙන්නගෙම කට වටේ තවත් තඩි කළු කටක්,
"කොහේ යන්නද උදෙන්ම "
මේ අක්කලාන එපා කරපු ජාතියකි. හොඳ වේලාවට අපි තුන්දෙනා නම් වාසනාවන්තයෝ.
එහෙම වාසනාවක් සනතාට නැත.

"උඔට මොකටද අපි යන දිහා..
යන තැනක පලයන්කෝ"
සනතා⁣ට එයද මදිය. සරමද උස්සා පුක ඇඳ පැවේය....

"චීය්යා කඩප්පුලියා....
වරෙන් රංජෝ යන්න"

කිරි අම්මා රංජාගේ අතින් ඇඳගෙන ගමන ඉක්මන් කලේ තව ටිකක් හිටියොත් තවත් කළු පුක් කිහිපයක්ම දැක ගැනීමට වෙන බව අත්දැකිමෙන්ම දන්නා නිසාය.

සනතෝ,
ඉහලාඹතලේ වාන් දාලා යන්ද මාළු බාන්න...
අපේ කණ්ඩායමේ සනතා බාලයා වුවද ගමේ ගොඩේ වැඩ අපිට වඩා හොදින් ඔහුට හැකිය.
මා සහ මල්ලී ගමට එන්නේ නිවාඩුවටය.
ඒ ආ විට අපේ නියමුවා සනතාය.
ෂර්ලියා අපේ අනිත් සඟයාය.
පොඩ්ඩ ඇත්ත බේරිවෙනවා සේ හොස්ස අඟින් මැස්සෙක් ගිය විටද මරා ගන්න හදයි

හරි, එහෙනම් මං අපේ වත්ත පහලින් පණුවෝ ටිකක් කොටාන එන්න......
උඹලා ගිහි වී රාත්තල් දෙක තුනක් අරගෙන වරෙව්"

ආනන්ද මාමාගේ කඩේදී වී නයිලෝන් නුල් පන්දුවකටත්, තෙප්පිලි කට්ටකටත් ,හකුරු බැයකට සහ පොල්කටු විස්කෝතු කිහිපයකටත් මාරු විය.
ඉහලාඹතලේ වැවේ වාන ගල් තලාවකි.
එය හරහා වැව් බන්ට් වෙන්වි ගොස්ය.
ගල් තලාව හරහා යන වතුර ගල් තලාව ආසන්නයේ ඇති වලට පිරි එයින් ඔබ්බේ ඇති ගල් තලාව හරහා ගොස් අැලට වැටේ . ඇලේ යන වතුර කොහේ යන්නේදැයි ඒ දවස් වල අපිට තිබු ලොකුම ලොකු ප්‍රශ්නයකි.
ගල් තලාව හරහා යන වතුර පාරේ තිත්තින් පොදි පොදි පිනා යයි.
මේ තිත්තින් ඩබොල් අමරයා, ලේනා බණ්ඩය්යා එකතු කරගෙන මැහි ගසා වේලයි.
දිය පාරේ එන කාවය්යන්, තෙප්පිලින් වානේ පතුරු වලින් කොටන්නේ රෑටය.
එම ඉරණම අත් නොවු මාළුන් ඇල පාරට යයි .
එහෙම නැතිනම් ඇලපාරට මෙහායින් වු කහදිය වල තම තාවකාලික නිවහන කර ගනී.
කහදිය වල අසල කුරටියා සහ කයිල ගාලකි.
එය ඉහලාඹතලේ කිට්ටුව උන් මිනිසුන්ගේ පොදු වැසිකිලියද විය.
එනිසා අපි මුළින් තඩි ගු ගොඩවල් කොල වලින් වැසුවද ගඳ වසා දැමීම නම් කල නොහැකි විය.
ෂර්ලියාගේ චප්ප නහය තවත් චප්ප කර ගත්තේ මාළු අැල්ලීමේ ආසාව ගඳට වඩා වැඩි වු නිසාය.

සනතා ඉනේ ගසාන හුන් වක්පිහෙන් කුරටියා කොට්ටක් කඩා එයට නුලත් බැද මිලයට ගත් තෙප්පිලි කට්ටත් බැන්දේය.
කුඩා ලිී කැල්ලක් නුලේ මැද බැන්දේ ඉපියාටයි.
"වැඩේ හරි....."
පණු පොල්කට්ටෙන් තඩි ගැඩවිලෙක් තෝරා බිලී කොක්කේ ඇමුණු සනතා එයට කෙල තලියක් ගසා කහදියවලේ වතුරට විසිකලේ ජයග්‍රාහී හිනාවකිනි.
"අන්න.......
ෂර්ලියා වතුරේ නිසලව තිබු ඉපියා එහෙ මෙහේ යනු දුටු විට කෑ ගැසීය.
"කට වහපියකෝ"
සනතා මුර ගෑවේ වතුරේ ඉන්නා මාළුන්යට අපේ කතාව ඇසෙයැයි සිතා විය යුතුය.
සනතා බීලි කොක්ක ඇද්ද විට තඩි පෙතියෙක් බීලි කොක්කේ ඇමිණි සිටියේය.
වැඩේ මරුය. කහදිය වලේ වු කාවය්යන් දෙදෙනෙක්ද මඩකරියෙක්ද උඩටවිත් වැලක ඇමුණුන විට බිලි පිත්ත මා ගත්තේය.
පණුවා අමුණා දුන්නේය සනතාය. කෙල තලිය ෂර්ලියාගෙනි.
මා මගේ මංගල මාළුවා බා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බිලි කොක්ක වතුරට දැමිමි.
"අය්යේ ආන්.......
කවදත් මගේ සහායට එන මල්ලී වැඩේ සාර්ථක බව පෙන්නීය.
බිලී කොක්ක ගස්සා ඇද්දෙමි.
මගේ හිසට උඩින් ගිය බිලි කොක්ක සරම පසා ගෙන තට්ටම කා ගෙන යටට බැස්සේ රෑ තරු දවල් පෙන්නමිනි.
මගේ විලාපයට පැත්තක අහවල් වැඩය කරමින් උන් ජන්ගුවා සීයා දුවගෙන ආවේ ඇට්ටි⁣ම්බෙනි.
තට්ටමේ ඇමිණි තිබු තෙප්පිලි කට්ට ගලවා අත් බේතක්ද බැඳ උන්දැ ගියේය.
අල්ලාගෙන තිබු මාළුන් කහදිය වලට විසු කොට ආපිට ගෙදර යනවිට මා අනිත් උන්ට මේ ගැන කාටවත් නොකියනා ලෙස ඉල්ලුවද පසු සෙල්ලම් කිරිමට සනතාලාගේ ගෙදර ගියවිට කිරිඅම්මා මාළු බාන්න යමුදැයි ඇහුවෙි ඔලොක්කු හිනාවකනි.
ඒත් මට ඒ වන විට එකීට සරම උස්සා පෙන්නීමට බැරි තාත්තා පසුපසට බේත් දමා පැලැස්තරයක් ගසා තිබු බැවිනි.


Wednesday, March 20, 2019

තැඹිලි වල්ල

කේබී මහත්තයා........
කවුරුත් දන්නේ එහෙම කියපුවාම .
කේබී කියන්නේ කළුබංඩා කියන එක කෙටියෙන්,
නමට ගැලපෙන්න හොද සිංහල කළුපාට.
උස අඩි පහයි අගල් දෙකක් විතර.
ගෙල දක්වා වවපු කොණ්ඩය.
ඇනදේ ජාතික ඇදුම.......
එතුමා තමා එවකට මගේ විදුහල්පතිවරයා......
ගමේ අය⁣ට නම් ලොකු මහත්තයා.
තව සමහරක් නම් කිව්වේ කේබීකාරයා කියලා.

සිවුර දරාන ඉගෙන ගෙන දුක්සහිත ලෞකික ජීවිතයෙන් ඉකුත් වෙන්න උත්සාහ කලාට පන්සල පල්ලේ බබලතීයක් සිවුරු බර උරෙන් අයින් කල්ල හිටං උන්දැව තමන්ගේ පතියා කරගෙන.
ඒ වෙනකොටත් දෙදරු පියෙක්.
බොහොම විනෝදයෙන් කල් ගත කරේ.
ඔය කියන එවායින් බඩදරු වෙනවා නම් අපේ ඉස්කෝලේ එක ගුරුවරියක්වත් බේරෙන එකක් නැහැ.

ඒ ඉස්කෝලේ ඒ පලාතේ හැටියට ලොකු එකක්
ලමයිත් පන්හයය සියක් උන්නා.
ඒත් කාර්යාලයට නම් තිබ්බේ 10×20 කාමරයක්,
එකේ ජනේලේ ගාවම තමා ⁣කේබී මහත්මයාගේ මේසේ තිබ්බේ .
ඒ මේසය ගාව පරණ ඔලිම්පියා ටයිප්රයිටරේ පොඩි ඩෙස් එකක් උඩ තියලා තිබ්බා .
පාසලේ ලියු කියු එහෙම ටයිප් කරේ ස්වර්ණපාල මහත්තයා ,
එයා තමයි නියෝජ්‍ය විදුහල්පති .
සමහර වේලාවට මටත් ඔය වැඩේ කරන්න ලැබුණා .
එදත් හදිසි ලියුමක් ටයිප් කරන වැඩේ මට බාර වුනා.
මං ඉතිං කෝ කෝ සිස්ටමයෙන් යතුරු ලියන්නෙක්නේ.
යතුරු පුවරුව බලාන මගේ වැඩේ කරමින් උන්නේ.......

තුසිතා මිසුයි, වසන්තා මිසුයි ⁣කෙකර ගාන සද්දෙට මං ඔළුව උස්සලා බැලුවා .
හද්දෙය්යනේ කේබී සර් උළුඅස්සට හේත්තු වෙලා කාර්යාලයට ඉස්සරහින් තියෙන තැබිලි ගහ දිහ⁣ා බලාන ඉන්නවා.
උදාහිරු එලිය නිසා තැබිලි වලු තැබිලි කොල අස්සෙන් අපුරුවට පෙනවා..
කේබි සරුත් තැඹිලි ගහක් වෙලා
රෙද්ද පසා කරගෙන උදාහිරු කිරන කාර්යාලයට ආවා.

කේබී සර් අමුඩයට ආයුබෝවන් නොකියපු හොඳ සිංහලයෙක්,
ඒත් එදා එතුමාට අමුඩය ආයුබෝවන් කියලා තිබ්බා.....
ඔය තුසිතායි වසන්තායි දෙන්නම එවකට නොබැදිව හිටියේ.......


අපේ තේ බොන වේලාවේ.......
රතු වෙච්චි තුසිතායි, බේරි වෙච්චි වසන්තාටයි අමතරව තේ හිරවෙච්චි, තේ ඉස්පොල්ලේ ගියපු කිප දෙනෙකුත් උන්නා.

Monday, December 17, 2018

"දෙමලිචි උගුල"

ගුණපාල බඩරස්සාවට බැලගෙඩි කඩන හාදයා.
ඔය මණුස්සයා වැඩිපුරම ආසා වුණේ  ඒ ගස්ගෙඩි කඩන ගෙවල්වල පොඩි වුන්ව අමාරුවේ වැටෙන විහිළු කරන්න.
හවසට නම් පේදි මාමාගේ කසිප්පු කලවම් නාන ලිං වතුර බි ගත්තම ජෝතිපාල වෙනවා.
මට ඒ දවස්වල ජෝතිපාලවත් පෙන්න බෑ.
ඒ දවස්වල පොඩිවුන්ගේ පොදු ඇදුම ජංගීය.
චිත්ත රෙද්දෙන් මහපු ජංගී ඇදගත්තු කොළු කෙල්ලෝ වෙන් කර ගන්න නම් නාන ළිද ගාවටම යන්න ඕන.
ඇයි ගෙදරටම එන රැවුල් බාබර හැමෝටම ගහන්නේ නැඹිලි කට් එකනේ..
නාන එකත් මහ එපා කරපු වැඩක්.
තඩි බාල්දි⁣යකින් වතුර වක් කරද්දි හුස්ම ගන්නේ කොහොමද?
ඒ අමාරුව නැති කරන්න බෝවිටියා ඉපලකට පුළුවන් .
හැබෑයි ඉස්පල්ලේ වතුර බහින කාණුව හිරකරලා හදා හන්න පොකුණ නම් නාන්න විතරක් නෙමේ පීනන්නත් ජාති.
ඒවා අම්මලා දන්න එකක්යැ.
එ්ත් සුමානේ කිලිටි හෝදන  දවසට නම් ඇස් රතු වෙලා වේව්ල වේව්ල තමා ගෙදරට බස් එක එලවාන එන්නේ.

ගුණපාලය එනකොට මම දම්මිකායි, සුදුනෝනායි, සුදුමැණිකායි(මගේ ඕනෑ නොවුණු නෑනාලා)
එක්ක සෙල්ල ගෙදර පොල්පිති ළමයින්ට බෙහෙත් කරනවා.

"ආ සංජී මහත්තුරු........කෙල්ලොන්ට බෙහෙත් දෙනවා වාගේ"

ගුණපාලයා බුලත් කහට දත් දෙතිසෙන්ම හිනා වෙන්නේ ඇහැකුත් ගහන ගමන්.
ඌ දන්නවා මම ඔය කතා වලට කැමැති නැති බව........

"සවුසේට මොකද, යනවා යන්න......
නැත්තං රේමන් මාමාට කියනවා අපි"

"අප්පෝ මං බයයි,
කෝ නැද්ද බිත්තර කට්ටක්"

"මොකටද ගුණා මාමේ බිත්තර කටු"

ඒ දම්මිකා.
ඇය මගේ පලොලේම මගේ පංතියේම ඉගෙන ගන්නා
ලොකුම නෑනාය. මට වැඩිපුරම ජුවල් යන්නේ ඇය හා සම්බන්ධ කර කරන කවටකම්වලටය.
ඇයි ඇය වපරයිනේ.

"අය්යකෝ බොලාගේ රේමන් බඩා එද්දී හැන්ගෙන්න නෙවැ...."

මේ උත්තරෙත් එක්ක දම්මිකාගෙයි ,
සුදු නෝනාගෙයි ඇස් රතුවුණා......
රේමන් මාමා ඒ දෙන්නාගේ තාත්තානේ.
ඉගිලී ආ පොල්කටු ජෝඩුවෙන් ගුණපාලයා දක්ෂ ලෙස බේරි දිව්වා.......

ගුණපාලයා නවසි ගහේ කලටියකුත් අරගෙන ආවේ සුදු කොඩි ඔසවන්න.
නවසි ගහේ කලටියේ කට්ට ඇරෙන්න අනිත් හැමදේම කන්න පුළුවන් .

" සංජී මහත්තයා ආසා නැද්ද කුරුල්ලෝ ඇති කරන්න"

මගේ ඇස් බැබළුනා.........
කතා කරන පෙත්තප්පුවෙක් ඕන්න දැන් මගේ ඉස්සරහ.

"ආ.......සයි,...........
ගුණපාල ගාව ඉන්නවද ගිරවු"

" මං ඊයේ පල්ලැහැ ගෙදර පියල්ටත් ගිරා පැටියෙක් ගිහින් දුන්නා,
දැක්කේ නැද්ද..........
ආන් ඒකා ඉස්තොප්පු කෑල්ලේ කුඩුවක ඉන්නේ......."

"ඉතිං මටත් එකෙක් දෙනවකෝ"

"අපොයි මහත්තයා,
තව දෙතුන් මාසයක් ඉන්න වෙනවා.....
තාම බිත්තර ,
අර මෝලවත්තේ ගස් දෙක තුනකම බෙන වල ගිරවු ටැක් ගැහෙනවා මං දැක්කා නෙවැ."

"හැබැයි මහත්තයාට දෙමලිච්චෙක්ව නම් දැන් වුණත් අල්ල ගත්තෑකි..."

"ඒ කොහොමද'.........

දෙමලිච්චෙක්  මගේ අතේය. ගුණපාලය නරකම නෑ ඉතිං..
මගේ හිත තුල ගුණපාල ගැන ආදර කරුණාවක් ඇතිවේ.

"මහත්තයා,
පොල්කුඩු ඩිංගක් ගෙනත් අතන දාන්න ,
දෙමලිච්චෝ  පොර කන කොට
ජංගීය ගලවලා ඔළුවට දාගන්න.....
ඉට පස්සේ හෙමිහිට ගිහින් අල්ලගන්නයි තියෙන්නේ........."

"ඉතිං උන්ට පෙන්නේ නැද්ද?"

"එකට තමා මහත්තයෝ ජංගීය ඔළුවට දාන්නේ"


අපුරු උපායකි. මං කුරුල්ලා වහ වහා අම්මා උයන තැනට පියඹා ගියේ ඉක්මණින්ම පොල්කිච්චෙක්ව අල්ල ගන්නයි.
සියල්ල හරිය .
පොල්කිචි නඩය කෑ කොස්සන් ගසමින් බඩගෙඩි පුරවා ගනී.
දැන් මගේ මොහොතයි.
සීරුවෙන් ජංගීය ඔළුවට දා ගත්තෙමි.

දඩ බඩාන්..........
වතුර පනිට්ටුවත් පෙරලාන මා පොල්ලෙලි ගොඩ මතය.
අම්මාට පොල්කිච්චන්ට තරම් කෑ ගැසිය නොහැක.
මට පොල්කිචි කෝලාහලය මැද අම්මාගේ හ⁣ඩද ඇසෙයි.
ජංගීය නිසිතැන රැදවු අම්මා හදිසි අනතුරේ විභාගය ඇරඹුවාය.
වැඩි තුවාලයක් නැතත් අත සහ කකුල් හිරි ඇත.
කුරුම්බැට්ටියක් අඟුරෙන් උරච්චි කරන ගමන් අම්මා ගුණපාලගේ ගණන් බේරුවාය.
ඒ වන විටත් ගුණපාලයා පොල් ගසක් උඩ විය යුතුය.
මගේ දත් කිරි කිරි හඬින් ගැටේ.
යලි ඌ දකින විට සියළු ගිනි නිවි ,
ගිනි අඟුරු අළු යටය.

Monday, September 10, 2018

පිය සමර

අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලෙ , මිනි කාමරේට පිටිපස්සේ තිබ්බ ගුරු පාර දෙපැත්තේ යායට ඉබ්බං  ගස් සාරේට හැදිලා තිබ්බා.

ඒ පාර විහිදුනේ කෝටස් වලට.
අපි එහෙමයි කිව්වේ....
කෝටස් කිව්වේ ඉස්පිරිතාලේ සුළු සේවකයන්ගේ නිවාස.
දිග එක නිවාස සංකිර්ණයක ඇදු ගෙවල් දෙකක් තිබ්බා.
එහෙම තිබ්බ නිවාස ගාන දැන් නම් මතක් කර ගන්නවත් අමාරුයි.
එක ගෙදරකට කාමර දෙකකයි .
පොඩි ශාලයකුයි කුස්සියකුය් තිබ්බේ.

පිටිපස්සේ තිබ්බ වැසිකිළිය😱
එකේ වලේ බාල්දියක්නේ තිබ්බේ.
පෙරැමාල් හැමදාම උදේට ඇවිත් එකේ එකතු වෙලා තිබ්බ දේවල් වැසිකිලිය ඉස්සරහ තිබ්බ වලට දාලා වතුර ගහනවා.
එතනින් පස්සේ මල්ලීගෙයි මගෙයි සෙල්ලම් ගේ එක.
අම්මා කොච්චර පැන්නුවත් අපිට එකට නොගිහින් ඉන්න පුළුවන් වුනේ නැහැ.

තාත්තා ඉස්පිරිතාලේ වාට්ටු කම්කරු..
මං නම් හිතාන හිටියේ එයා තමා එකේ ලොක්කා කියලා........

උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.


තාත්තත් එක්ක හතරේ වාට්ටුවට ගියාම දැක්ක දොස්තර දාගෙන හිටපු නලාවට මට ආසා හිතුණා.
එයා ඇදගෙන හිටියේ තාත්තා වගේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි නෙමේ.
සිවනේෂන් දෙස්තර මහත්තයා සාක්කුවේ දාගෙන හිටපු නලාව මං දවසක් හොරෙන්ම ගන්න කොට එයා එක දැක්කා......
හිනා වෙලා ඔලුව අතගාලා
"පුතා ලොකු වෙලා මේකක් ගන්න"
කීවේ නුපුරුදු සිංහලෙන්.....
රංබණ්ඩා මාමයි, හේමා නැන්දයි මේක දැකලා හිනා වුණා..
තාත්තා මාව වඩාගෙන ප
"පුතා හොදට ඉගෙන ගත්තොත් ඔය නලාවක් දාගෙන මේ ඉස්පිරිතාලේට එන්න පුළුවන්"
ඒ කියන වේලාවේ තාත්තාගේ ඇස් දෙක මට දැණුත් මතක් වෙනවා.

තාත්තා ඒ දවස් වල සාමාන්‍ය පෙල ගණිතයට ගණ හැදුවා.
ඉස්තෝප්පු කෑල්ලේ පැදුරක් දාගෙන මුණිතලාවෙලා ගණ හදනකොට මල්ලීයි මායි, පිටේ නගිනවා.....
අම්මා ඇවිත් අපි දෙන්නව ඇදගෙන හිහින් එළියට දානවා.


පස්සේ තාත්තා කොළඹ NTS එකට ගියේ අම්මාවයි , මල්ලීවයි ආච්චිලාගේ ගෙදර නවත්තලා.........
මම බටුවත්තේ ලොකු අම්මාලාගේ ගෙදර ගියේ ඉස්කෝලේ යන්න........


සාමාන්‍ය පෙල පංතියට යද්දී ලොකුවට හිටි තාත්තා පොඩි වෙන්න ගත්තා......
එයා දන්නේ මොනවද?
කියන දේවල් වලට එරෙහිව කතා කරේ ඒ හින්දයි.

කාලය ගත වෙද්දී , මාත් පියෙක් වුණා...
හැබැයි ඒ වෙනකොට තාත්තා ආයෙම ලොකු වෙන්න පටන් අරං........

පහලම තැනින් පටං අර සෑහෙන දුරක් ගිය කෙනෙක් කියන එක ඒ වෙද්දී තේරුණා.
ආකාලයේ හදිසි අනතුරකින් වියෝවුණත් ,
දැන් දන්නවා එතුමා කෙතරම් ධෛර්‍යවන්තයෙක්ද කියන එක.
ඔහු බලාන උන්නේ මම වෛද්‍යවරයෙක් වෙලා අනුරාධපුරයේ ඉස්පිරිතාලේට යාවි කියලා........
එක ඉටු නොවුණත් අද ඉන්න තැනට එන්න හය්ය ලැබුණු විදිහ දැනුයි තේරෙන්නේ.

අද මම මගේ පුතා දිහා බලලා සතුටු වෙන විදිහට ඔහුත් සතුටු වෙන්න ඇති.

Friday, August 31, 2018

පර්යේෂකයෙක්ගේ මරණය

ඒ ස්කයි ලැබ් අහස් විමන මිහිතලයට පතිත විමට නියමිත කාලයයි. සන්ධ්‍යා පුවත් කියවන රම්‍යා වනිගසේකර එය පතිත විමට නියමිත ඉන්දීයන් සාගරය ආශ්‍රීත ප්‍රදේශයකට බව කියනු ඇසිණි.
මා මගේ පර්යේෂණාගාරයට ගියෙමි. අපේ නිවසට පසුපස වු කාණුවට, උඩ වත්තේ ජලය එක්විමේදී ඒ වත්ත සේදීම නිසා ඇති වු ගුහාවක් බඳු කොටස මගේ පර්යේෂණාගාරයයි. තාත්තාගේ අත වැදිම නිසා බිදි ගිය චිවිනි ලාම්පුවේ කර,ඇණ ටිකක්, රේමන් මාමාගේ ගොනාගේ ගලවා ඉවත් කල ලාඩම් කුට්ටමක් මාගේ පර්යේෂණාගාර උපකරණයි.
මටත් අවශ්‍ය වුයේ අහස් විමනක් සෑදීමටයි.
මේ තියෙන කෑලි බෑලි වලින් ඒ සඳහා ප්‍රමණවත් නැති බව නොතෙරේන්නට මං පොඩි බබෙක්යැ........
ස්කයි ලැබය පතිත වන්නේ ඉන්දියන් සාගරය ආසන්න ප්‍රදේශයකටයි......
හරි එහෙනම් ඒ අපේ ගේ ඉස්සරහ ඇති මෝලේ වත්තට වැටුණොත්!......
එහෙනම් වැඩේ හරි...

මේ මෝල වත්ත යනු පෙර කොහුබත් මෝලක් පිහිටි, නමුත් දැන් පාළුවට ගිය ඉඩමකි.
එහි තැන් තැන්වල පොල්ගස් කිහිපයකි. ලොකු කැඩුණු ටැංකියක්ද කුඩා නිවුන් ටැංකියක් ද ඇත්තේ එහි පහල කොටසේය.
එහි වු පොල් ලෙලි වල අපි කාගේ කාගේත් මත්ස්‍ය කර්මාන්තයට පුර්ව කුසලතා ලබා දුන් තැනයි.
එහෙත් එයට මේරි අක්කාත්, ජොසපිං නැන්දාත් අකමැති වුයේ ඔවුන්ගේ පල් විමට දමා තිබු පොල් අතු මාළු ඇල්ලීමට දඟලන අප අතින් කැඩෙන නිසාය.
මා මුහුණ සේදීමට නාන ලිදට යන්නේ ස්කයි ලැබ් එකේ වැටුණු කොටස් හිමිකර ගැන්මේ බලාපොරොත්තුවෙනි...........
එහෙත් එය කිසි කලක ඉටු නොවුණකි.
ඒ පර්යේෂකයා මිය ගිියේය.
නැතහොත් මරා දැමිණි.
මිනිමරුවන් හෝ මියගිය ආකාරය ගැන කිසිවෙක් විමසුවේ නැත..........
ඇමරිකාවේ ජාතික විලියම් පේන්ටර් සිය දිවිය ඉසුරුමත් කර ගත්තේ බෝතල් මුඩි නිශ්පාදනය කිරීමෙනි. ඔහු හොඳ හාම්පුතෙකුද විය. තමාගේ සේවකයින් පිළිබද මනා වැටහිමක් තිබු පේන්ට දිනක් ඉතා කාර්යක්ෂම සේවකයෙක්ට කතා කලේය.

"ඔබටත් පුළුවන්නේ මේ වාගේ ව්‍යාපාරයක් අරඹන්න........
මේ මං කිව්වේ ඔය සැරයක් පාවිච්චියට අරන් විසිකරන විදිහේ දෙයක් හදන්න..
මිනිස්සු පුරුදු වුණොත් ජිවිත කාලේම ගනිවි.
කිසිදාක ඉල්ලුම අඩු වෙන්නේ නෑ......"
පසු කලෙක මෙම සේවකයා සිය ස්වාමීයා උපදේශය අනුව අපුර්ව නිශ්පාදනයක් ලොවට බිහි කලේය. එතෙක් දැලි පිහියෙන් රැවුල ඉවත් කල මිනිසුන්ට භාවිතයෙන් පසු ඉවත ලන තල සහිත රේසරය හඳුන්වා දුන්නේ මේ අපුර්ව නිමැවුම්කරුවාය. ඒ කිංග් ජිලට්ය.

Saturday, March 4, 2017

අච්චිගේ දුං කොළ නැට්ට

ගම ගැන ගොඩාක් අය කතා කරන්නේ හරි අසාවෙන්. මං ඉතිං ගං ගං ගානේ හොයලා බැලුවා ඔය කියන සුන්දර ගම. අවාසනාව කියන්නේ එහෙම ගම් නැහැ. පජාති මිනිස්සු, කේලම්කාරයෝ, බ්ලේඩ්කාරයෝ වාගේ හැම විදිහකම අය නගරයේ වගේම ගමේත් ඉන්නවා. ඒ අතරේ ලොකුම ලොකු හදවත් තියෙන අය ගමේ වගේම නගර වලත් ඉන්නවා. හොර සුරා තිප්පපලවල්, ...නිකා නිවාස, විඩියෝ කඩ, චයිනිස් කඩ දැන් ඉතිං හැම ගමකම තියෙනවානේ. එත් මිට අවුරු
දු 30හ 40කට කලින් මේ තත්වය වෙනස් ඇති. ඒ මතකයෙන් වෙන්න ඔන මිනිස්සු කතා කරන්නේ. අපේත් අම්මාගේ ගම හද්දා වන්නියේ. ඔය වන්නිය කියන එකත් හම්බ වෙන්නේ නැති එකක්. මම ඉස්කෝලේ හැම නිවාඩුවක්ම වගේ හිටියේ ආච්චිලාගේ ගෙදර. මම හිටියේ බටුවත්තේ (රාගමට කිට්ටු ගමක්) වුණාට ආච්චිලාගේ ගෙදරට ගියපුවාම කොළඔ කොල්ලෙක් වෙනවා. ඇත්තට මම දෙකේ පංතියට යනකම් කොළඹ කලුද සුදුද කියලා දැනං හිටියේ නැහැ. ඒ කරලාත් දෙකේ පංතියේ දි ඉස්කෝලෙන් (බටුවත්තේ කණිෂ්ඨ විද්‍යාලය) යන අධ්‍යාපන චාරිකාවෙන් තමා කොළඹට හා පුරා කියලා ගියේ. අදටත් මම කොළඹ කොහේ යතත් ඹධ්‍යම බස් නැවතුමට ගිහිං තමා යන්නේ.

අපේ ආචිචිලාගේ කාලේ ගමේ හැමෝම ගම්මැද්දේ ඉදලා තියෙන්නේ. එකේ තිබුණා කියන්නේ එක යට ලියේ ගෙවල්. අම්මා කියන විදිහට බත් මඩක්කුව(මැටිකෝප්පේ) අරගෙන වටයක් ගිහිල්ලා වටපලේ වාඩිවෙන්නේ බත් වැහෙන්න මාලු දාගෙන. ඔය මාලු කියන්නේ වැංජන වලටනේ.

ඒ ගෙවල් හරි සරලයි. වටපිලෙන් කෛටි බිත්තිය පටන් ගන්නවා. එකේ ඉස්තෝප්පුව දිගයි. ඉස්තෝප්පුවට යාවුණ කාමර දෙකයි. ඒ කාමර දෙකට පස්සෙන් පසුපිල . පසු පිගේ කොනක කුස්සිය. සමහර ගෙවල්වල අටුගේකුත් තිබුණා. අටුගේ තමයි බවබෝග ගබඩාව, ඒ වගේම ආයුධ තියන්නෙත් එකේ. දැති ගොය්යෝ,උකුණුගස්,බෝල් අතු, කැති, උදලු මේ හැම ලට්ටාලොට්ටයකම වාසබවන වුනේ එක.

ආච්චිගේ බඩු ගබඩාවයි සිරියහන් ගබඩාවයි එකම කාමරේ. එක එක ප්‍රමාණයේ මුට්ටි හත අටක් එක මත එක තියලයි, ආච්චිගේ බඩු ගබඩාව හදා ගෙන තිබුණේ.ඕලු හාල්, හාල්, කුරක්කන් පිටි යනාදි ආහාර ද්‍රව්‍ය බඩගෙඩි වලට යනකං ඔය මුට්ටි අස්සේ තිබුණා. අර අනිත් කාමරෙ වුණත් බඩු කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. පෙට්ටගමකුයි ඇදකුයි මේසයකුයි තමා ඒ කාමරේ තිබුනේ. සීයා නිදා ගන්නේ ඉස්තෝප්පුවේ තිබුණ බුරැ ඇදේ.
ඒ කාලේ ළමයි ගම්බ වෙන්න ස්පිරිතාල වලට බබලත් උදවිය ගිහිං නැහැ. ඒ වැඩේ කෙරුනා කියන්නේ ගෙදරම තමා, ඒවාට උදවු පදවු දෙන්න ඒ ගැන දැනුම් තේරුං ඇති උදවිය හැම ගමකම දෙතුන් දෙනෙක් ඉදලා තියෙනවා. දරුවා ලැබුණාම පෙකණිවැල කපනවනේ ඉතිං එකේ පොඩි කොටයක් ඉතුරු වෙනවා. ඒ කොටේ දවස් කිහිපයකින් තමා වැටෙන්නේ. ඒ කාලේ ඔය වැටෙන පෙකණි වැලේ කොටස පෙට්ටියක දාලා අරං තියනවාලු. ඒ සන්දියේ හැම ගමයාම වෙදෙක්. ඒ ඒ ගැමියාට විශේෂ වෙච්ච අවසුද වට්ටෝරු තිබිලා තියෙනවා. ඉති ඒ හින්දා හැම ගෙදරකම කුස්සියේ දුං මැස්සේ අවුසද පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකටම තමයි අර දරු පෙකණි ශේෂය දාලා තියන්නේත්.දවසක් ගෙදරට ආපු ගෑනු මනුස්සයෙක් කුස්සියේ ආච්චිත් එක්ක සතුටු සාමිචියේ යෙදෙමින් ඉන්න අතරේ ආච්චි ගිහි කොච්චි අහුරක් කඩා ගන්න. ආච්චි කොච්චි අහුර කඩාගෙන ඒන අතරවාරයේ ආගන්තුක උන්දැ සාර බුලත් විටක් ඒදගෙන,

“අනේ බං ඩිංගිරියෝ බුලත් පෙට්ටියේ දුං කොළ නැ“

‘මං අන්න අර බෙහෙත් වට්ටියේ තිව්න දුං නැට්ටක් හපා ගත්තා“

“එකනං බොලල්ලා වස උරල් රහං“

“මක් කොරන්නද නැති හින්දා ඉතිං කනවා මිස්ක්වා“

අර උන්දැ ගියාට පස්සේ අපේ ආච්චි බෙහෙත් පෙට්ටිය ගත්තේ එකට දුං කොළ කඩා පාත් වුණ අරුමේ ගැන විමර්ශනයක් කරන්න.
අප්පේ රෙදි කඩ මාල්ලක ඔතා තිව්ණ මාමගේ පෙකණි කොටේ අතුරුදහන්.