ගුණපාල බඩරස්සාවට බැලගෙඩි කඩන හාදයා.
ඔය මණුස්සයා වැඩිපුරම ආසා වුණේ ඒ ගස්ගෙඩි කඩන ගෙවල්වල පොඩි වුන්ව අමාරුවේ වැටෙන විහිළු කරන්න.
හවසට නම් පේදි මාමාගේ කසිප්පු කලවම් නාන ලිං වතුර බි ගත්තම ජෝතිපාල වෙනවා.
මට ඒ දවස්වල ජෝතිපාලවත් පෙන්න බෑ.
ඒ දවස්වල පොඩිවුන්ගේ පොදු ඇදුම ජංගීය.
චිත්ත රෙද්දෙන් මහපු ජංගී ඇදගත්තු කොළු කෙල්ලෝ වෙන් කර ගන්න නම් නාන ළිද ගාවටම යන්න ඕන.
ඇයි ගෙදරටම එන රැවුල් බාබර හැමෝටම ගහන්නේ නැඹිලි කට් එකනේ..
නාන එකත් මහ එපා කරපු වැඩක්.
තඩි බාල්දියකින් වතුර වක් කරද්දි හුස්ම ගන්නේ කොහොමද?
ඒ අමාරුව නැති කරන්න බෝවිටියා ඉපලකට පුළුවන් .
හැබෑයි ඉස්පල්ලේ වතුර බහින කාණුව හිරකරලා හදා හන්න පොකුණ නම් නාන්න විතරක් නෙමේ පීනන්නත් ජාති.
ඒවා අම්මලා දන්න එකක්යැ.
එ්ත් සුමානේ කිලිටි හෝදන දවසට නම් ඇස් රතු වෙලා වේව්ල වේව්ල තමා ගෙදරට බස් එක එලවාන එන්නේ.
ගුණපාලය එනකොට මම දම්මිකායි, සුදුනෝනායි, සුදුමැණිකායි(මගේ ඕනෑ නොවුණු නෑනාලා)
එක්ක සෙල්ල ගෙදර පොල්පිති ළමයින්ට බෙහෙත් කරනවා.
"ආ සංජී මහත්තුරු........කෙල්ලොන්ට බෙහෙත් දෙනවා වාගේ"
ගුණපාලයා බුලත් කහට දත් දෙතිසෙන්ම හිනා වෙන්නේ ඇහැකුත් ගහන ගමන්.
ඌ දන්නවා මම ඔය කතා වලට කැමැති නැති බව........
"සවුසේට මොකද, යනවා යන්න......
නැත්තං රේමන් මාමාට කියනවා අපි"
"අප්පෝ මං බයයි,
කෝ නැද්ද බිත්තර කට්ටක්"
"මොකටද ගුණා මාමේ බිත්තර කටු"
ඒ දම්මිකා.
ඇය මගේ පලොලේම මගේ පංතියේම ඉගෙන ගන්නා
ලොකුම නෑනාය. මට වැඩිපුරම ජුවල් යන්නේ ඇය හා සම්බන්ධ කර කරන කවටකම්වලටය.
ඇයි ඇය වපරයිනේ.
"අය්යකෝ බොලාගේ රේමන් බඩා එද්දී හැන්ගෙන්න නෙවැ...."
මේ උත්තරෙත් එක්ක දම්මිකාගෙයි ,
සුදු නෝනාගෙයි ඇස් රතුවුණා......
රේමන් මාමා ඒ දෙන්නාගේ තාත්තානේ.
ඉගිලී ආ පොල්කටු ජෝඩුවෙන් ගුණපාලයා දක්ෂ ලෙස බේරි දිව්වා.......
ගුණපාලයා නවසි ගහේ කලටියකුත් අරගෙන ආවේ සුදු කොඩි ඔසවන්න.
නවසි ගහේ කලටියේ කට්ට ඇරෙන්න අනිත් හැමදේම කන්න පුළුවන් .
" සංජී මහත්තයා ආසා නැද්ද කුරුල්ලෝ ඇති කරන්න"
මගේ ඇස් බැබළුනා.........
කතා කරන පෙත්තප්පුවෙක් ඕන්න දැන් මගේ ඉස්සරහ.
"ආ.......සයි,...........
ගුණපාල ගාව ඉන්නවද ගිරවු"
" මං ඊයේ පල්ලැහැ ගෙදර පියල්ටත් ගිරා පැටියෙක් ගිහින් දුන්නා,
දැක්කේ නැද්ද..........
ආන් ඒකා ඉස්තොප්පු කෑල්ලේ කුඩුවක ඉන්නේ......."
"ඉතිං මටත් එකෙක් දෙනවකෝ"
"අපොයි මහත්තයා,
තව දෙතුන් මාසයක් ඉන්න වෙනවා.....
තාම බිත්තර ,
අර මෝලවත්තේ ගස් දෙක තුනකම බෙන වල ගිරවු ටැක් ගැහෙනවා මං දැක්කා නෙවැ."
"හැබැයි මහත්තයාට දෙමලිච්චෙක්ව නම් දැන් වුණත් අල්ල ගත්තෑකි..."
"ඒ කොහොමද'.........
දෙමලිච්චෙක් මගේ අතේය. ගුණපාලය නරකම නෑ ඉතිං..
මගේ හිත තුල ගුණපාල ගැන ආදර කරුණාවක් ඇතිවේ.
"මහත්තයා,
පොල්කුඩු ඩිංගක් ගෙනත් අතන දාන්න ,
දෙමලිච්චෝ පොර කන කොට
ජංගීය ගලවලා ඔළුවට දාගන්න.....
ඉට පස්සේ හෙමිහිට ගිහින් අල්ලගන්නයි තියෙන්නේ........."
"ඉතිං උන්ට පෙන්නේ නැද්ද?"
"එකට තමා මහත්තයෝ ජංගීය ඔළුවට දාන්නේ"
අපුරු උපායකි. මං කුරුල්ලා වහ වහා අම්මා උයන තැනට පියඹා ගියේ ඉක්මණින්ම පොල්කිච්චෙක්ව අල්ල ගන්නයි.
සියල්ල හරිය .
පොල්කිචි නඩය කෑ කොස්සන් ගසමින් බඩගෙඩි පුරවා ගනී.
දැන් මගේ මොහොතයි.
සීරුවෙන් ජංගීය ඔළුවට දා ගත්තෙමි.
දඩ බඩාන්..........
වතුර පනිට්ටුවත් පෙරලාන මා පොල්ලෙලි ගොඩ මතය.
අම්මාට පොල්කිච්චන්ට තරම් කෑ ගැසිය නොහැක.
මට පොල්කිචි කෝලාහලය මැද අම්මාගේ හඩද ඇසෙයි.
ජංගීය නිසිතැන රැදවු අම්මා හදිසි අනතුරේ විභාගය ඇරඹුවාය.
වැඩි තුවාලයක් නැතත් අත සහ කකුල් හිරි ඇත.
කුරුම්බැට්ටියක් අඟුරෙන් උරච්චි කරන ගමන් අම්මා ගුණපාලගේ ගණන් බේරුවාය.
ඒ වන විටත් ගුණපාලයා පොල් ගසක් උඩ විය යුතුය.
මගේ දත් කිරි කිරි හඬින් ගැටේ.
යලි ඌ දකින විට සියළු ගිනි නිවි ,
ගිනි අඟුරු අළු යටය.
අප්පා ... අන්දනව කියල මෙහෙමත් ඇන්දීමක් ... ජංගිය ඔලුවෙ 😁
ReplyDelete🏃🏃🏃🏃
Deleteපොල්කිච්චට පේන්නෙ නැති වෙන්න ජංගිය ඔළුවෙ දාගෙන. මෙහෙමත් රැවටිල්ලක්. :D
ReplyDeleteකෝ දැන් දම්මිකා?
ඔයාත් මගෙන් අහගන්නයි තනන්නේ 😂
DeleteOne for sorrow.
ReplyDelete✔
Deleteහරිම අපුරු ලියවිල්ලක්. වර්තමානයේ ළමයින් නොදුටු අත්නොවිඳින සුන්දර ළමා කාලයක දසුන් හිතේ මැවෙනවා.
ReplyDelete👍ස්තුතියි
Delete