Pages

Thursday, November 12, 2020

හුඟක් ඉස්සර

 නිවාඩුව එනකම් ඇඟිලි ගැන්නේ,

නිවාඩුවට ලබුනෝරු යන්න ලැබෙන හින්දයි.
ලබුනෝරුව තමා අපේ ගම.
ගමට යන ඒක ඉතිං ලොකු අලංකලන්චියක්.
උදේ එකේ කෝච්චියට බටුවත්තෙන් නඟින්න ඕන.
එකේ රාගම ස්ටේෂන් එකෙන් බහිනවා.
කොළඹ ඉදන් මඩකලපුව සහ තිරිකුණාමලේ යන උදේදේවිය ගැන යකඩ කටින් කියනකොට අපි එයාව පිලිගන්න ලැස්ති වෙනවා.
තාත්තට වරන්ට් තිබ්බේ තුන්වැනි පංතියේ .
වාසනාව තිබ්බොත් මල්ලීටයි මටයි ජනේලි අයින් ලැබෙනවා.
අපි දෙන්නාව දාලා තාත්තා අන්තරස්දාන වෙනවා.
එකට මොකද,
මඟ අපිව පහුකරන දේවල් කොච්චරක්ද ?
ගල්ගේ ඇතුලේදී අපි දෙන්නම තරගෙට හු කිව්වා........
ඔය වඩේයි කාරයෝ,
පැලපී කාරයෝ ගියාට අපිට මොකද?
පොල්ගහවෙලින් පස්සේ ලයිට් කණු වෙනුවට සිග්නල් අත් තිබ්බේ .
මහවදී කෝච්චිය නවත්තපුවාම තාත්තා ප්‍රාදුර්භූත වෙනවා...
මහව ඉස්ටේසං කැන්ටිමේ මාළුපාන්වල රහ..........
එයිට හපන් කිරි තේ එක....
පුදුම විජ්ජාව තමයි
කෝච්චිය ආපු පැත්තටම යන ඒක.
කෝ කවුරුත් හිටියේ නෑ
ඒ මොකක්ද වුණේ කියලා දෙන්න නම්
කවුරුත් හිටියායැ.
කැකිරාවේ ඉස්ටේසමේ කාකිමාමාට තාත්තා ටිකැට් කෑලි දුන්නා.
අමුතු වහ කුයිල මැලතියන්වල.
කුචිබුචි කියන ගේ කුරුල්ලෝ හැම තැනම.
ඉස්ටේසම ඉස්සරහ කඩ පේළියේ එක කඩයයි ඇරලා තිබ්බේ .
කඩේ ඉස්සරහ කුඩුවක දඬු ලේනෙක් එල්ලීගෙන බලාන උන්නා .
වතුර ජෝගුවෙන් විදුරුවට දාගත්තු වතුර
බොන්න ටිකක් අමාරුයි .
කියුල.....
ස්ටේෂන් එකේ ඉදන් අනුරාධපුර දඹුල්ල පාරට හැතැප්ප කාලයි.
පේන දුර.....
පයින් ගියාම විනාඩි විස්සයි.
එතන ඉදන් පැයක් විතර බලාන ඉන්න කොට කැකිරා බස් එනවා..
ඊයා........
මට බස් දකිනකොටම වමනේ යනවා.
මොනව කරන්නද වමනේ දදා යන්න එපැයි.
කැකිරාවේ බස් නැවතුම් පොලේ කොනක
"පව්කාරමඩුව"
එ් මඩුවේ සිමෙන්ති බංකුවල හිඟන්නෝ බුදිය හිටියා.
අපිට බස්සේක තියෙන්නේ දෙකට....
බස් එක එනකම් අපිත් පව්කාරමඩුවේ ඉන්දවලා තාත්තා අතුරුදහන් .........
ගොඩාක් වේලාවට කට්ටමුරිච්චාන බස් එක කැඩෙනවා
එහෙම වුණාම ගෙලෙන්බිදුණුවැව,
කහටගස්දිගිලිය බස් සරණ ගච්ජාමි ......
බස් එකේදී මට ලොකු වැඩක් තියෙනවා .
පුළුවන් තර වමනේ දාන ඒක....
එතකොට මගේ පෙනුම
හුඹහෙන් ඇඳගත් ගොයා වගෙයිලු...
පව් අසරණ මම....

මුරියාකඩවල මෛත්‍රී විද්‍යාලය පෙන දුරින් බස් එක ජරස් ගාලා නවතින කොට
කඩිමුඩියේ එලියට බැහැලා වමනේ පාරක් දාලා ඇඟ හැල්ලු කර ගන්නවා.
අම්මෝ දැනෙන සනීපේ.
දැන් තියෙන්නේ
ඉස්සරහ ඩැනී මුදලාලිගේ කඩේට ගිහින් තේ බොන්න,
එකේ තේ හදන්න හිටියේ බළල් ඇස් තියෙන සුට්ට කෙල්ලෙක් ...
රාණි.....
රාණි දිහා ,
රාණිගේ බළල් ඇස් දිහා බැලුවේ පුදුමයෙන්..
අපේ ඉස්කෝලේ නම් බළල්ඇසියෝ නෑ..
තේ බොන්න ගල් බනිස්, හුළං විස්කෝතු තමයි හොඳ.......
ඉස්කෝලේ ගාව ඉදන් ලබුනෝරු පාරට යනකම්,
ගෙවල් නෑ.....
හැතැම්ප තුන පයින් .....
මග දිගට හම්බ වෙන බෝක්කු ,
එරමිණියා ගාල් ගනන් කරන එක තමයි යනෙන කාන්සිය මකන්නේ ......
ගිනි පිඹින ඉර අහසට වෙලා
පොළවට රැව්වා......
පාර අයිනේ තියෙන මහ ගස් ඒ රැවුම් ගනන් ගත්තේ නෑ....
රඹැව හම්බ වෙන්න හැතැම්මක් විතර යන්න ඕන....
පිදුරු හෙවිල්ලාපු ගෙවල් දෙක තුනක ඉස්සර වල ගොඩ ගොඩවල්.....
බුලත් කහට හිනා කටින් ඒ ගෙවල් ඉස්සරහ වල ඉදි කරමින් දෙන්නා දෙමහල්ලෝ උන්නා.......
අපේ වයසේ කොළු කෙල්ලෝ ජංගී කොට ඇදගෙන එක එක සෙල්ලම් .....
තව ටිකකින් උන්ට සමවෙන හිත නිසා
මල්ලීයි මායි මුණෙන් මුන බලාන
හිනා වුණා......
හන්දියේ කඩේ ගාවදි මරදන්කඩවල ඉදන් එන පාර මුරියාකඩවල පාරට හේත්තු වෙනවා......
ඉහලාඹතලේ වෙල් යාය එතන ඉදන් පටන් ගන්නේ ......

ආනන්ද අය්යාගේ කඩේ ගාවදී අපි දෙන්නා දුවන්න පටන් ගන්නවා.....
මල්ලීට මට වඩා හය්යෙන් දුවන්න පුළුවන් .....
මං කොච්චර වේගේ වැඩි කරත් ඌ තමයි ඉදිකඩුල්ලේ හරස් පොල්ලෙන් මුලින්ම පනින්නේ.
ඉදිකඩුල්ල සීයා හදපු එකක්
පිටලෑලි දෙකක් වෑයෙන් ගාලා හිල් තුනක් විදලා, හොද ඇද නැති හල්මිල්ල ලී තුනක්
හරහට දාපුවාම ගුණා සීයාගේ හරක් හැතිකරේට වත්තට එන්න බෑ....
ඒ වුණාට ඉතිං උන්දැගේ වැස්සියන්ගේ කිරි, මුදෝපු කිරි , දුං තෙල් එහෙම නම්
ජාති.......

මැලතියන් නාවපු ආච්චිලාගේ ගෙයි බිච්ච ,
කුඹුක් හුනෙන් සුදු කල්ලා තිබ්බේ .
ඉස්සරහ වටපිල....
බිම රටාවට ගොම ගාලා....
ගේ කුරුල්ලෝ වහලේ පිදුරු ඇද ඇද සෙල්ලම් කරනවා...
ගේ ඉස්සර තඩි වද මල් ගහේ තුය්යෝ පැණි බොන්න ඇවිත්.
හැම පැත්තෙන්ම රැහැය්යන්ගේ බ්රැඩි හඩ දෝකාර දුන්නා.

අවුරුදු නිවාඩුවේ අපි කාටත් සෙල්ලම් ගොඩයි.
රන්ජා, සනතා, සිල්ලරයා, උපාලි, මැණිකේ,
කිරිමැණිකේ, අපේ මල්ලී
ඔක්කොම එකතු වුනේ අවුරුදු උත්සවයක් දාන්න....
රන්ජාගේ ඇස් බැඳලා,
අලියට ඇහැ තියන්න.....
අලි බෝඩ් එක ඉස්සරහ..
උපාලියා සරම උස්සාන පුක ඇද පාගෙන...
රන්ජා උපාලියාගේ පුකේ හුණුකුර ගෙනියනවා.....
හිනා බෝම්බ පුපුරද්දී.....
රන්ජා ඇස් වහපු චීත්තේ ගැලෙව්වා
චියීයා.....
වලත්තයෝ #$& ....
රන්ජා ගෙදරම දිව්වා......


9 comments:

  1. නියමයි.

    කණගාටුවට කරුණ තමයි දැං ඔය ගේකුරුල්ලො කියන උං හොයාගන්න එක කළුනික හොයනවටත් වැඩිය අමාරු එක.

    ReplyDelete
    Replies
    1. උන් දැන් LGBT සංගමේට බැඳිලා :D

      Delete
  2. නොස්ටැල්ජියා..

    ReplyDelete
  3. ගමේ යන කතා මරු.අපි ඉස්සර ගමේ යනකොටත් ඔය විධිහ තමා. දවසට දෙපාරක් එන බස් එකේ ගියේ. ලබුනොරුව අහල තිබුනේ නහ. ගූගල් කළා. දඹුල්ල හා මිහින්තලේ අතර තියෙන වැවක් එක්ක ගමක්.

    ReplyDelete
  4. අම්මොඃ... එක හුස්මට ලියලා. එක හුස්මට කියෙව්වා

    ReplyDelete