Pages

Sunday, January 29, 2017

කලු බංඩා ඉස්කෝලේ මහත්තයා




නුවර කලාවි‍යේ මායිමක පිහිටි ගම්මානයකි අප්පුවා හූ කියාපුවැව. එහි උරුමක්කාරයෝ වැඩිය හිටියේ නැහැ. ගමේ ඉස්කෝලේ තිබුනේ වැව ඉස්මත්තේ. ඉස්කෝලේට උඩහින් තිබ්බේ ලන්ද. ලන්දට එපිටින් මුකලාන. ගමේ ඉස්කෝලේ පංති පහයි. ගුරුවරු තුන් දෙනයි,ලොකු මහත්තයයි. දැන් ඔය ඉස්කෝලවල අකිල මහත්තයා දාලා ඉන්නවා වාගේ නිකම් ඉන්න අනධ්‍යන කාර්ය මණ්ඩලය කියලා එකක් තිබ්බේ නැහැ. එත් වැඩ ටික ටක්කෙට කෙරුණා.

ගුරු නිවාසයේ පදිංචිව හිටියේ කලුබංඩා මහත්තයා. ලමයි නැහැ . සුමනාවතී නෝනාත් ඉස්කෝලේ හාමිනේ කෙනෙක්. මේ ගොල්ලන්ට තිබ්බා සුසුකී 50ක්. ඔකෙන් තමයි ගමන බිමන. ඒකියන්නේ ටවුමට යන්නේ වතුර ටික ගෙන්නේ කඩ පිලට යන්නේ සම්‍යක් සියලු ගමන්. දවසක් කලු බංඩා මහත්තයා නෝනත් කැන්දගෙන ටවුමට ගියේ වැඩ රාජකාරි ගොඩකට. පඩියෙන් පස්සේ දවසනේ. උවමනා එපාකම් බොහොමයි. ඒ සන්දියේ ඔය හෙල්මට් නීතිය පටන් ගත්ත අලුත. ගොඩක් අය හෙල්මටය පැලන්දුවේ අතට පොලිස් රාළහාමිලා දැක්කොත් තමා හෙල්මට් එක හිසට වැඩැම්මුවේ. කලු බංඩා මහත්තයාගේ හෙල්මට් එක සුමනාවතී ඉස්කෝලේ හාමිනේ අතින් එල්ලාගෙන පස්සෙන් වාඩි වෙලා . යකාගේ වංගුව පහු කරලා ප්‍රධාන පාරට දානවත් එක්ක මාර සේනාධිපතියෝ දෙන්නෙක් වාගේ රාළහාමිලා දෙන්නෙක් ඉස්සරහ.

        “ගෑනියේ හෙල්මට් එක දාපිය රාලහාමිලා ඉස්සරහ“

කලු බංඩා මහත්තයාගේ මොර ගැමට සුමනාවතී හාමිනේට ඉස්පාසු නැති වුණා.

රාළහාමිලාගේ තැරිය පල්ලේ බයිසිකලය නවත්තා ගත්තේ කලු බංඩා මහත්තයාගේ දස්ස කමට.........

හාමිනේ හෙල්මට් එක දාලා තිබුණේ ඉස්සර පැත්ත පස්සට, පස්ස පැත්ත ඉස්සරහට.

රාළහාමිලා දෙන්නත් හිනා කට වසං කර ගෙන හිටියේ බොහොම අමාරුවෙන්,

හෙල්මට් පැළදිය යුතුවා මිසක් එක පැළදිය යුතු පැත්තක් නීතියේ නැහැනේ, කලුබංඩා මහත්තයා රළහාමිලාගන් සමු අරන් ගමන අරඹුවා, හැබෑයි යනකන් එනකන්, පස්සෙන් පහු ගෙදර ඇවිදිල්ලාත් සුමනාවතී හාමිනේගේ කණ පිරෙන කුණු බැණුම් නම අහවර වුණේ නැහැ........

No comments:

Post a Comment