Pages
Sunday, February 3, 2019
මල් පුසුඹ
ආඩම්බරකාර පැජරෝ ගොය්යා බරසාර සද්දයක්ද සමඟින් මෝලේ මිදුලේ කෙලවරේ තැන්පත් වුණේ දුම් කැස්සේ අවසන් පොදත් පිබිමින්.
දුවගෙන ආ කෙසඟ හාදයා,
ඉස්සරහ දකුණු පැත්තේ ද්වාරය විවර කරේ බොහොම ගරු නම්බු ඇතිව.
එකෙන් බැස්ස කොට මහත මනුස්සයා රජෙක් වගේ වට පිටවත් නොබලා උඩින් උඩින් කාර්යාලයට ගියා.
සාපිනුයි, නන්දායි, නන්දාගේ කෙල්ලෝ දෙන්නයි මෝල ඉස්සරහ අඹ ගහ ගාව බංකුවේ වාඩිගෙන බලාන උන්නේ එ් රජාගේ කැදවිම එනකම්.
සාපින් කෙට්ටුයි, උසයි.
හරියට පන් ගහක් වගෙයි.
නන්දා නම් එහෙමට කෙට්ටුවක් නැතත් මහතයි කියන්න බෑ.
කෑම අහේනියේ ලකුණු පිරිණු කෙල්ලෝ දෙන්නම නොගැලපෙන ගවුම් බාච්චු දෙකකින් කැත කරලා තිබ්බා.
ඉස්කෝලේ යායුතු වයසේ උන්, උන් දෙන්නා අවුරුදු එකක පරතරයක සහෝදරියෝ උනාට දෙවැනියාගේ හැදුම බාල වෙලා නිසා රේටි ගැහිලා තිබ්බේ.
ලොක්කිට අවුරුදු දොලහක් .
එත් වයස අටකට වඩා පෙනුමක් තිබ්බේ නෑ............
මන්ද පෝෂණය දෙවැනි කෙල්ලව තව තවත් අබලන් කර තිබුණා.......
සිරිසෝම මහත්තයා පලාතේම දානපතියා.
එතුමා නොයන පිංකමක් අහල ගං හතකවත් තිබ්බේ නෑ.
සිරිසෝම කොහුමෝල ඇරුණාම රණවරාව පාරේ දුවන සිරිසෝම ට්‍රැවල්ස් බස් ටිකත් එතුමාගේ,
රණවරාව පාර දෙපස එක දිගට තිබ්බ පොල්වතු කන්දරාවකුත් එතුමාගේ නමින් ලියැවුණු ඔප්පු මිටියක හිර වෙලා තිබුණා.........
"අන්න උඹලට මහත්තයා කතා කරනවා"
පංගස් මිනිහා කාරියාලේ එලිපත්තේ ඉදං සාපින්ලාව කැදෙව්වා.
ඔය විදිහට තමයි සාපි ඇතුළු පවුල කොහුමෝලේ හතේ ගෙදර පදිංචියට ආවේ.
ගෙදරක් කිව්වට එකේ කාබරයයි.
සාලේට ඉස්සරහින් බාගේ බිත්ති බැදපු ඉස්තෝප්පුව.
තව උයා පිහා ගන්න කුස්සි පොඩ්ඩක්.
ඒ කුස්සියට ඩිංගක් විතර ඈතින් කක්කුස්සිය.
එකේ පොහොර මළු කපාන හදපු බිත්ති වලට උඩින් වහලයක් තිව්නේ නැහැ.
රමණිටයි, කමනීටයි අළුත් ගෙදර හොදට හිතට ඇල්ලුවේ තනියට එහා ගෙදරත් ඒ වයසේ කෙල්ලක් උන්නු හින්දයි.
ඇය රණවරාව පාසලේ හතේ පංතියේ.
දෙසොහොයුරියන්ට වඩා පැහැයෙන් කළු වුණත් අැගපත නම් සනිපෙට හැදිලා තිව්නා.
" එයි , ඔයාලා ඉස්කෝලේ යන්නේ නැද්ද?"
චමිලාගේ ප්‍රශ්නයත් එක්ක රමණිට වගේම කමනීටත් ජනපද මහා විද්‍යාලය සිහි වුණා.
මෙහේ එන්න කලින් දෙන්නා ගියේ ඒ ඉස්කෝලේට .
යකාවංගුව පහු කරනවත් එක්ක තිබ්බ තනි ශාලාවේ ඉස්කෝලේ .
ලොකු මහත්තයයි, තව ඉස්කෝලේ නෝන මහත්තුරු හතර දෙනෙකුයි තමා මුළු ඉස්කෝලේටම උන්නේ.
ඉබාගතේම වාගේ දෙන්නම පංතියෙන් පංතිය හයටයි පහටයි ගිහින් තිබ්බාට දෙන්නටම අකුරු තුනක් එකතු කල්ලා වචනයක් ලියා ගන්නවත්, වචනයක් කියා ගන්නවත් බෑ..
ප්‍රේමාවතී නෝන මහත්මයාගේ පොඩි කොළුව ඉස්කෝලේට ගෙනවානේ.
ඉතිං එයාව වඩාන ඉන්න රාජකාරිය පැවරුනේ හතරේ පංතියේ කෙල්ලන්ට.
සමහර කෙල්ලන් කොල්ලව වඩා ගත්තම කොල්ලගේ කකුළුත් බිම වදිනවා.
රමණී උරහිස දිහා බැලුවේ පුංචි මහත්තයා හපපු කෑළල තාමත් තියෙන නිසයි.
"දන්නෑ ......
අපුච්චා නම් අස්සීමේ කොළ පුරෝගෙන ආවේ..........
මෙහේ තියෙන ඉස්කෝලේකට දාන්න ඕන කිව්වා.."
අම්මා නම් කිව්වේ මෝල වැඩට ගියාම තව කියක් හරි අපිටත් හොයා ගන්න පුලුහං කියලා"
කමනී තමා උත්තර බැන්දේ.
සාපින් ගිනි කසයා වගේ ගෙදර ඉස්සරහ උදළු ගාන ගාමන් චමිලා දිහාට බුලත් කහටෙන් කළු වුණු හිනාවක් පෑවා..
"දූව කීයේ පන්තියේදැ?"
"හතේ........
අපේ ඉස්කෝලේ නවේ පංතියට විතරයි පංති තියෙන්නේ ..
තව අවුරුදු දෙක්කින් මමත් ටවුමේ ඉස්කෝලේට යන්න ඉන්නේ"
ඉලග දවසේ ඉස්සර සුදු පාටට තිබ්බ ගවුං දෙකක් දවටා ගත්තු කෙල්ලෝ දෙන්නා ඉස්සරහින් සාපිං රණවරාව ඉස්කෝලේට ගමන අැරඹුවා.
නුහුරු රබර් සෙරෙප්පු හින්දා කෙල්ලෝ දෙන්නගේ ගමන බාලයි
"විජහට වරෙව්කෝ"
කියන හඩට ඒ ගමන ඉක්මන් කරන්න බෑ.
කන්දක් උඩ තිබ්බ රණවරාව කණිෂ්ටේ වටේම මල්.
කාර්යාලය තිබ්බ ශාලාව ඉස්සරහ පොඩි කළු ගල් අතුරපු මිදුල.
ළමයි ඉදල් අරං අතු ගානවා යනකොටත්.
ජනපද ඉස්කෝලේට වඩා මේ ඉස්කෝලේ අමුතුයි කියලා දෙන්නටම හිතුණා.
ශාලාවේ හයි කල්ලා තිබ්බ පොඩි ඉස්පිකර් දෙකක් ඒ වෙනකොට සිංදු කියා කියා හිටියේ.......
කාර්යිලයේ කවුරුත් නැති හින්දා තුන්දෙනා දොර ගාව හිට ගත්තා...
කමනී පුරුදු පරිදි නහයේ මිනිරන් හාරන කොට රමණී රබර් සෙරෙප්පුවෙන් සිමෙන්තියේ ඉරි ඇන්දා......
සාපින් ඉනේ තිබ්බ බුලත් විඩෙන් කටේ තිබ්බ හපේ අළුත් කරා.....
"අන්න"
මුලින්ම ඔහුව දැක්කේ රමණී....
උඩ පඩි පේල පනිමින් එන කොට කළු මනුස්සයා ආවේ හිනාවෙමින්....
"එන්න මහත්තයා "
සාපින්ගේ ඇසුයි කටයි දෙකම අැරුනේ ජිවිතේ පලමු වතාවට තමන්ට මහත්තයා කියලා කතා කරපු හින්දා වෙන්නැති.....
මේ ළමයින්ව මේ ඉස්කෝලේට දාන්න වෙන්න ඇති
කෝ දෙන්න අස්වීමේ සහතික
අස්වීමේ සහතික බලලා පරණ ඉස්කෝලේ ලියපු පොත් ඉල්ලුවා
එත්ඉතිං දෙන්නටම හැමදේටම තිබ්බේ එක පොත ගානේ
රමණීගේ පොත නම් පොඩි මහත්තයා ඉරලාත් එක්ක.
එකේ වැඩි පුරම තිබ්බේ පොඩි මහත්තයා ඇදපු බලිබුච.....
දවසක් පොඩි මහත්තයාට පොත නොදී ඉදලා ප්‍රේමාවතී ටිචර් ඇනපු ටොක්ක නිසා රමණීගේ ජංගීයත් යාන්තමට තෙමුණේ ඇස්වටේ කනාමැදිරි එලි දැල්වෙද්දීමයි.
පොත බලද්දී ලොකු මහත්තයා (හැබෑයි එයාට කාර්යාලේට ආ ගෑනු කෙනෙක් කතා කරේ ලොකු සර් කියලා)
නළල රැලි කර ගත්තා..
"සාපිං අපි මේ ළමයි දෙන්නවම පහට දාමු.
ඒ පංතියත් මෙයාලට ගැලපෙන්නේ නැහැ වාගෙයි.
කමක් නෑ අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා....."
මේ කතාව කියද්දි රමණී, කමනී එළියට යවලා තිබ්බට දෙන්නටම ඇහුණා.
ලොකුම ලොකු සර් කාර්යාලේ කබඩ් එකකින් ගත්තු පොත් බෑග් දෙකකුත් එක්ක ලියන පොත් එක්ක දෙන්නට දුන්නා.........
ඒ ඉස්කෝලේ උදේට කෑමත් දෙනවා.
දෙන්නාගේ පංතියේ ළමයි තව විසි දෙනෙක් උන්නා...
සීලවතී ටිචර්ට නම් පුංචි මහත්තයයෙක් නෑ.
නටමින්, ගීත ගයමින් වැඩ කෙරුණේ...
එදා ඉන්ටවල් එක දෙන්නට හම්බ වුණේ නෑ.
සීලවතී ටිචර් දෙන්නව ලං කරගෙන වග විස්තර ඇහැව්වා..
කියන තොරතුරු අහන ඉන්න අතරේ සීලවතී ටිචර් ඔසරි පොටෙන් දැස් පිහදපු වාරත් තිඋණා..
ඉන්ටවලු එක කෙලවරේදී දෙන්නාව නිදහස් කරලා ටිචර් කාර්යාල කාමරේට ගියා...
රමණීටයි කමනීටයි ඉස්කෝලේ ඇරෙන්නේ අනිත් ළමයි ගිහිල්ලාත් පැයකට දෙකකට පස්සේ.
ඉස්කෝලේ ටිචර්ලා දවස් බෙදාන මේ දෙන්නාට අකුරු හරඹේ හුරු කරන්න පටන් ගත්තා.
ඇදට කැතට තිබ්බ අකුරු වලින් රමණිටයි , කමනීටයි ලස්සන හාවෝ, මල්, කුමාරයෝ පේන්න වැඩි කලක් ගියේ නෑ.......
ඉස්කෝලේ තිබ්බ පුස්තකාලේ පොඩි පොත් වල උන්නු තාපසවරු, රාජකුමාරවරු එක්ක දෙන්නා දැන් හරි හරියට කතා කරනවා.
දෙන්නාගේ පොත් වලත් දැන් මුතු ඇමිණෙනවා....
ඒ දැකලා සීලවතී ටිචර්ගේ මුහුණටත් ඒ මුතු අාවා.
එදා ඉස්කෝලේ රැස්වීමේදී ලොකුම ලොකු සර් පද්‍ය රචනා තරගයක් ගැන කිව්වා.
ලොකු තෑගි හම්බ වෙන එකක්....
රමණී , කමනී එදා හවස අපුච්චා ලව්වා ගෙන්න ගත්ත පුල්ස් කැප් කොලේට කවි පිරෙව්වේ ඉස්තෝප්පුවේ දිගැදිගෙන.
උදෙන්ම දෙන්නා ලොකු සර්ගේ කාර්යාලයට ගියා.
කොයිතරම් කාර්යාලය පිරිසිදු වුණත් පිලිවෙලට තිබ්බත් එතුමාගේ මේසේ නම් අපුච්චාගේ බුලත් වට්ටිය වගෙයි නේද කියලා රමණිට හිනාත් ගියා.
මාසේකට හමාරකට පස්සේ උදේ රැස්වීම අවසන් වෙන්න ඕන්න මෙන්න තියලා ලොකු සර් ආවේ වෙනදටත් වඩා හිනාපුරෝගෙන.....
අද අපිට හරිම සතුටු දවසක්
සමස්ත ලංකා පද්‍ය රචනා තරගයේ කනිෂ්ඨ අංශයේ පලමු සහ තුන්වෙනි ස්ථාන දෙකම අපේ පාසලට ලැබිලා.
මේ සිද්ධිය අැත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් එකක්.
මේ ජය පිටුපස අපේ පාසලේ සමස්ත ප්‍රාථමික ගුරු මණ්ඩලයම ඉන්නවා....
විශේෂයෙන්ම පහේ සීලවතී මහ......
..............
ආපිට බලපු කමනී දැක්කේ අඬමින් හිනැහෙන සීලවතී ටිචර්.
(තවත් දේ සිදුවිමට නියමිතය. හෙට දින කුමක් වේදැයි කවුරුන් නම් දනිද)
Labels:
කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
හිත සැනසුන කථාවක්.
ReplyDeleteලස්සනයි...❤️
ReplyDeleteමේක ඇත්තම කතාවක් උනානම් ......
ReplyDeleteස්තුති
Delete