Pages

Monday, October 4, 2021

ලාම්පු එළියයි ප්‍රේමය

 




ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි සුනිල් මහත්තයා⁣ ලියපු එක
නන්දා මැඩම්ගේ හඩින් තමයි අපේ කන් අස්සට රිගැව්වේ.
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ලෝභ සිතින් නොව පිදුව මනාවේ
පෙරලා බිඳකුත් ලබනට ඉන්....
ඒ සරත්චන්ද්‍ර මහත්මයා ප්‍රේමය ගැන හිතැව්ව හැටි.
ආකස්මික ගේය පද රචිකා
යමුනා මාලනීය කියන්නේ නම්....

ප්‍රේමය ලොව හැමතැනම ඇති
අපි හැමටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කීමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙකු නැති

මම තුනේ පංතියේ ඉන්නකොට අපේ පංතිභාර ටිට මාව දැම්මේ
මේ චන්ද්‍රිකා ගාවට.
චන්ද්‍රිකාත් කළුයි , මාත් කළුයි.
ටිච බැඳලා නෑ.
ටිච ඔය ළමයින් එක ලගට දැම්මේ ටිචගේ යටි හිතේ මොකක්දො වැඩ සටහනකට.
දැන් තමයි එහෙම හිතෙන්නේ .
අර චන්ද්‍රිකා හිනැහෙන කොට නම් කමුබුලේ සුළි දෙකක් එනවා.
එක බලන්න මං කැමැති.
ඒක මොකක්ද ?
කවුද දන්නේ .
පොඩි එවුන්නේ.

වයස අවුරුදු දහය දොළහ වෙනකොට ගැණු ළමයි , පිපෙනවා.
ඒකට ඒ අයගේ ඇග ඇතුලේ හැදෙන ස්ත්‍රී හෝර්මෝන තමයි බලපාන්නේ
යටැස් බැලුම් ,කෝල කතා,
මුකුළු හිනා, ලලිත ගමන්
ඔක්කොම හින්දා කවුරු හරි පිරිමි පරාණයක්
මේ ගැටිස්සියට ලැග් වෙනවා.
අනේ ඉතිං අහසේ තරු කඩාන  මාල දාන්නම්,
මකරු ගෙනත් දෙනවා කියලා හිටං
මේ දැරිවිය එක්ක
සාද කතා, අතරේ හාපුරා කියලා මුවමී බොනවා
එතකොට කියන්නේ "ආදරෙයි පණටත් වඩා"

පස්සෙන් පහු ඔය ස්ත්‍රී පරානයක්
පුරුෂ පරානයක් එක්ක කුඩු වෙනවා.
බබ්බු හම්බ වෙනවා.
උයනවා කනවා
එකද ආදරය.
මන්ද ඉතිං  ඔය අපි කියෝන, බලන නිර්මාණ හැම එකකම ප්‍රේමය කියන්නේ ඔහොම එකකට
අයිති සටහන් කර ගැනීමට .
අයිති නැතිනම් එහෙම ප්‍රේම කරන්න බැයිද?
නෑ ඉතිං මට හිතෙන්නේ
අපේ බැඳිම් හින්දා හිතේ ඇතිවෙන හිතුවිලි සංකලනයක් වෙන්න ඕන ප්‍රේමය කියන්නේ
එහෙනම් ඉතිං ප්‍රේමයට පුර්වයෙන් බැදිමක් ඇති වෙන්න ඕන.
මේ බැදිම් වලට දැඩි බවට රාගය ,
ස්පර්ශය, කඩහට, පණිවිඩ වගේ එව්වා අවුළුපත් වගෙයි.
අවුළුපත් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේමයේ දැඩි බව වැඩි වෙනවා.
ඔය අපේ කාලත්‍රයා එයාව අපිට නිතීයෙන්ම බන්දා තියෙන්නේ.

දැන් ඉතිං කාලය ගත වෙනකොට අපේ හෝර්මෝන අඩු වෙනවා.
සමහර දේ සදහා තියෙන උපයෝගීතාවය අඩු වෙනවා..
එතකොට මේ බැඳිම් ටිකක් විතර සසල වෙනවා.
අපේ සංස්කෘතික ,
අපිට දාලා තියෙන සීමා, තහංචි
ඔව්වා නිසා වැඩය තවත් කචල් වෙනවා.
සාම්ප්‍රදායික සමාජය පවුල් ප්‍රශ්න කියන්නෙ ඒවටයි. අපි ආදරය කරමු. ඒක ස්වාභාවිකයි. ඒවගේම ඒක ස්වාභාවිකයි කියන එක සාම්ප්‍රදායික සමාජය තුල පිලිගැනුනු දෙයක්. 
එත් ප්‍රේමනීය හැඟිම් තුල ඇතිවන රාගය
ඒක නම් අපේ සංස්කෘතිය ඇතුලේ ස්වාභාවිකයි කියලා පිලි ගන්නේ නෑ
එක නම් අවසනාවකට වෙච්චි දෙයෙක්
ඔය රාගයේ ප්‍රතිඵලය  ප්‍රජනනය
බොහොම ස්වාභාවිකයි .
ඒත් ඒ සදහා තියෙන බලපත්‍රය විවාහය.
ඒ බලපත්‍රය නැතිනම් ප්‍රජනනය බෑ.
අනෙක වයස
අවු 40 පැනලා ඔය වැඩේ කරන්න ලංකාවේ නම් ලොකු ගැම්මක් තියෙන්න එපායැ.
අනෙක අපේ කාන්තාවන්.
ඔය කාලය වෙනකොට බොහොම අබලන්.
කොහොමට වුනත් ඔය කාලය ගත කරන කෙනෙක්ට ,
ආලවන්තකොම හිත පිරෙන්න බැයිද?
ඉර නිමෙන කොට සඳ සිහිල විදින්න හිත් දෙන්නේ නෑතිවද?
ඔය පංසලට ගිහින් ඒ සිහිල පාං තිරයක් පුළුස්සා පා කරන්න හදනවා.
ජීවිතය අඩක් මරාන මේ අය ඉන්නවා .
ජනප්‍රිය චරිත අරුණාම අනෙක් අයට වෙන්නේ එහෙම ඉන්න.
ඉදින් තනි තටුවෙන් පියාඹන්න බෑ.
තව තටුවක් ඕන.
ඒ තටුව හොයා ගන්න බෑ.
කොහේ තියෙනවද දන්නේ නෑ.
බටහිර රටවල සංස්කෘතිය මේ කාරණය වැලි කෝං පිට්ටුවක් වගේ හිතනවා කියලා එයාලගේ නවකතා කියෝන කොට හිතෙනවා නමුත් ආසියාතික අපිට මේක සිරිපාදේ වගෙයි.

වික්ටර් මහත්මයාගේ දෙවැනි විවාහය ගැන අනෙක ලිපි රචනා ලියවුණත්,
බටහිර කලාකරුවන්ගේ එවැනි තීරණ ගැන පයිසෙකට මායිම් නොකරන්නත් හේතුව එක වෙන්නැති...෴

Thursday, September 30, 2021

"මෝඩයා"

 "මෝඩයා"

තුසිත පේප සර්වියටයෙන් මුහුන පුරා විසිරුන නෙක්ටෝ බිඳිති පිහ දැමිමා.
ඔහුගේ යටැස් බැල්ම උද්‍යානයේ කෙලි සෙල්ලමින් හුන් කුඩාවුන් සිසාරයි තිබ්බේ.
ස්තුති
සිගිත්තියට  සිය මව ගැනවත් , සිගිත්තාට සිය පියා ගැනවත් නිනව්වක් නෑ.
උතුරා යන සතුටෙන් ඉක්සෝරා පදුරේ  විලිකුන් පල සොයමිනුයි ඔවුන් හිටියේ.
නිම්මිගේ නෙත් වල තිබ්බේ මොකක්ද ?
එදා වගෙම අදත් තුසිතට තෝර ගන්න බෑ.
ඒ......
"තමුසේ ඉතිං ඇයි කිව්වේ නැත්තේ"
නිම්මිගේ ගවැස් තුසිතගේ වත පුරා දිවගියේ පිලිතුරු නෙතින් සොයන්න පුළුවන් කියලද ?

තුසිත උපැ⁣ස් පිහ දැම්මා.
නෙක්ටෝ වලින් උපැස් වල කාච පිරිසිදු වෙලා.
පුරුදු මුවකොන් හාසය යලි තුසිතගේ වත එලිය කරා.
"ඔයාට මතකයිද?"
..........................................................................
11 වසරේ සාහිත්‍ය සමිතියට
කොස් ගහ ශාලාවේ
කට්ටියම පිරිලා.
සුමනසිරි සර්රුයි, සුසිලා ටිචයි ශාලාවේ කෙලොරේ ⁣ගුරු මේසයක් ගාව
සුහද සාකච්ඡාවක්.
සභාපති  තුසිත.
ලේකම් විශ්වා
තුසිත සමිතියේ කටයුතු පටන් ගත්තා .
එක දෙක අංග යන අතරේ,
ජයතිලක චිට් එකක් තුසිතට විද්දා
"අරකිට සිංදුවක් දාහ"
රකුසු අකුරෙන් එකේ තිබ්බේ එහෙම..
ඔය අරකි කියන්නේ අළුතෙන් 11 පහ පංතියට ආපු කෙල්ල .
"නිම්මි"
තුසිතට නම් නිම්මිගේ මහ ලොකු අපුරු බවක් පෙන්න තිබ්බේ නෑ.
නමුත් අළුතෙන් ආපු හින්දා කොයි කවුරුත් බැලුවා .
නාමල්ට වාගේ පිරුණු ඇගක් තිබ්බේත් නෑ.
ඒත් නිම්මිගේ ලොකු ඇස්වල කළුම කළු පාට ඇස් බෝල නම් තුසිතවත් බය කරා.
පෙරේයිදා ලැබ් එකේදී.
කොල තම්බන වේලාවේ නිම්මි හිටියේ තුසිතගේ කණ්ඩායමේ .
ඒ වේලාවේ ,
නිම්මි අතේ තිව්න
ටෙස්ට් ටියුබ් එකේ,
ඇල්කොහොල් , ජයතිලක හැප්පුන නිසා
තුසිතගේ පිටට හැළුනා.
"සොරීඉඉඉ....
කියලා කියපු වේලාවේ
ඒ මුනේ තිබ්බේ
බොහොම බයටපත් වෙච්චි පෙනුමක්
ඇස්වලින් කදුළු පනින්න ඕනන මෙන්න
වගෙයි.
තුසිත
හා කමක් නෑ කිව්වේ ඇත්තටම .
ජයතිලකලා හිනා වුණා.
මොකද අත පන නැද්දැ
එහෙම තමා ජයතිලක ඇහැව්වේ
සාමා ටිච කට්ටියම ඇත් කරලා ගෑස් බර්නරය වැහැව්වා .
"ළමයි ලැබ් එකේ සෙල්ල එපා...
පොඩ්ඩක් මිස් වුනොත් හැමෝමටම කරදරයි"
විද්‍යාව පිරියඩ් එකෙන් පස්සේ
පුස්තකාලය
පුස්තකාලය පිරියඩ් එක ජයතිලකලා කට් කරනවා.
තුසිත නම් බලාන හිටපු පිරියඩ් එකක්.
අදවත් සැගවුණ ලෝකය හොයා ගන්නවා
තුසිත හිතාගෙන ගියේ එහෙම.
පරිවර්තන රාක්කේ ගාව නිම්මිත් හිටියා.
එතන වෙන කවුරුත් නෑ.
තුසිතට එතනට යන්න ඕන වුණත්
පොඩි බයාදු ගතියක් දැණුනා .
එත් පොතට තියෙන කැමැත්ත බයාදු හිත මැරුවා.

"ඔයාත් ආස ද"
"පරිවර්තන වලට"
අනේ සොරී
ලැබ් එකේදී කවුරු හරි අතේ හැප්පුනා "

තුසිත අතේ තිබ්බ පොතෙන්ම "නිශ්ශබ්ද වෙනු"
පුවරුව පෙන්නුවා
නිම්මි හිනාව තද කර ගත්තා.

නිම්මි ඉස්කෝලේට බාර දුන්නේ පහුගිය සතියේ.
තුසිතගේ පංතියට ඒක්කන ආවේ
තඩි ලෝරා, ශිෂ්‍ය නායිකාව
නිම්මිට හම්බ වුනේ අන්තිම පේලිය.
පේලි මැද්දෙන් යනකොට වටපිට බැලුවේ නෑ.
බැලුවන හැමෝම එයා දිහා බලාන ඉන්නවා දකින්න තිබ්බා .

තුසිත බලනකොට නිම්මි අයිනක ඉන්නවා දැක්කා.
"පව්.........
එයාට සිංදු කියන්න බැරි නම්..."
ජයතිලක සහ නඩේ දිහා බලපු තුසිත
නැගිට්ටා.
ජයතිලකලා තමයි පංතියේ චන්ඩියෝ.
තුසිත කෙල තලියක්ම ගිල්ලා

"අපේ පාසලට අළුතෙන් පැමිණි,
නිම්මි සොයුරියට ගීයක් ගයන ලෙස ආරාධනයක් කරලා තියෙනවා ,
ඒ නිසා මිලගට අපේ සාහිත්‍ය සමිතියේ සැවෝම
ගීතයකින් රස ගන්වන්නට මම ඇරයුම් කරනවා
11 පහේ නිම්මි සොයුරියට...."

ජයතිලකලාගේ අත්පුඩි ගෝෂාව මැද්දේ
නිම්මි ඉස්සරහට එනවා තුසිත දැක්කා.

"ආයුබෝවන්,
සභාපති තුමාගෙන් සහ නිලධාරීන්ගෙන් අවසරයි,
මට ආරාධනා කරපු සහෝදරයන්ට ස්තුති .
ගීයක් ගයන්නම්
එය අසන ලෙස ඉල්ලමින්.......

තුසිතට සෙනවිරත්න සර් ගුත්තිල කාව්‍ය පාඩම උගන්වනවා මතක් වුණා.
ඒ හඬ..............
මුළු ශාලාවම නිහඬ වුනා
සුමනසිරි සර් ,
සුසිලා ටිචව අත ඇරලා ගී හඩ පිටවන මුව බැලුවා.
තුසිත මතක් කර ගන්න බෑ මේ තරම් මිහිරියට ගයපු ගැයුමක් ඉස්කෝලේ සමිතියක නම්.
තුසිත නිම්මිගේ කට දිහා
කට අයාන බලන් උන්නා
අත්පොලසන් හඩ ඇහෙනකම්ම.
හිස පාත් කරලා ආචාර කරපු ලස්සන .
වැරහැල්ලක් වගේ පෙනුන නිම්මිව තුසිතගේ හිත් පින්සලෙන් පාට කරන්න පටන් අරගෙන තිබ්බේ තුසිතටත් හොරෙන්.

පහුවදා වඩුවැඩ සර්ගේ බුද්ධාගම පාඩම
පුරුදු විදිහට සර් පොතේ පාඩම් කියවන්න නියම කරන්න පටන් ගත්තා
"විශ්වා පාඩම පටන් ගන්නවා "
විශ්වා බලාන ඉන්නේ එකටමයි
විශ්වාගේ කඩහටට නියන්, අතකොළු හිට දෙදරුම් කෑවා.
විශ්වාගෙන් පස්සේ පුරුදු විදිහටම තුසිතට
තුසිත කියෙව්වාට පස්සේ .
වඩුවැඩ සර් අළුත් ළමයාව දැක්කා.
"හා......
අළුත් මුණක් , කියවනවාකෝ එහෙනම් පාඩම.

නිම්මි නැගිට්ටා...
තුසිත බැලුවේ අතකොළු දිහා.
එව්වා තුෂ්නිම්භුත වෙලාද?
වරක්කලය ගාව තිබ්බ කැටයම් නියන්
ටික ගල්ගැහිලා කියලයි
තුසිතට හිතුනේ.
විශ්වාගේ මුහුණ දෙහි ලෙල්ලක් වෙලා.
ආයේ ඉතං පාඩම පටන් ගන්න විශ්වාට හමිබ වෙන එකක් නෑ.
.......................................................
එදා හවස පංති දවසක්
තුසිත පත්තර කඩදාසියේ දවටාන උන් සිනි මැදි කල පාන් කාල පොඩියට කඩමින් කමින් හිටියේ.

"ආ මේ.......

සැන්විචර්ස් පෙත්තක් නිම්මි දික් කලා
තුසිත  වටපිට බැලුවේ කවුද පංතියේ ඉන්නේ කවුද බලන්න .
තුසිතගේ වාසනාව.
සුමනා පොතකට එඹිගෙනයි හිටියේ.
අනික සුමනට ඔව්වායේ ගානක් තියෙන එකක්යැ.........
තුසිත පාන් පෙත්ත හනික ගත්තා
අය්යෝ මගේ අතත් තව ඩින්ගෙන්  කැඩෙනවා
මෙච්චර ලස්සන හඩක් මේ ඉස්ගෙඩි කෙල්ලට කොයින්ද ?

ආ මේ නෑ..........

තුසිතට එක පාරටම වචන ආවේ නෑ.
ඒ වුණත් තුසිතත් ඉස්කෝලේ විවාද කණ්ඩායමේ සමාජීකයෙක්.

"යං වතුර බොන්න"
නිම්මි කතා කරාම තුසිත ඉස්සර වුණා
තුසිතලාගේ ඉස්කෝලේ වතුර බොන ලිද තිබ්බේ ගේට්ටුව ගාව.
එකේ කඹ දාලා පිරිමහගන්න බැරි හින්දා
ටයර් පටියක් තමයි දාලා තිබ්බේ.
වතුර පනිට්ටුව බම්ප් වෙවි එනකොට අදින්න අමාරුයි .
නිම්මි ඕක දන්න එකක්යැ
පනිට්ටුව සිරි සිරි ගාලා ළිදට බස්සලා
අදින්න ගන්න කොටයි රගේ දැනුනේ
තුසිත වහාම නිම්මිගේ අත් අතරෙන් අත දාලා ටයර් පටිය ඩැහැ ගත්තා.

"අයින් වෙන්න"

විශ්වාට වගේ නම් හොද හරුපයක් අහගන්න තිබ්බා
එත් නිම්මිට එහෙම කියන්න තුසිතගේ දිව කිකෝරු නෑ.

පනිට්ටුවේ වතුර ටික අත්ගොට්ටෙන් එකතු කරගෙන
නිම්මි බිව්වා.
නිම්මිගේ ගවුමේ උඩ කොටසත් තෙමිලා.
නාමල්ට වාගේ ඒ උඩ කොටස හිර ගතියක් නිම්මිගේ තිබ්බේ නෑ.

කෝ එන්ඩ පනිට්ටුව ඉල්ලා ගත් නිම්මි
තුසිතට බොන්න වතුර දැම්මා .

අඩේ..හ්  මෙහේ වරෙව්.......
මේ බලපියව්කෝ
තුසිතයා දිහා......
මේ......
මෙවුන්ට මක් වෙලාද ?
බොන්න වතුර ඩිංගක් වත් කරන එකට මේ හැටි මොර දෙන්නේ ඇයි?

"ඇයි මොකද තුසිතට මොකක්ද වෙලා තියෙන්නේ ,

මෙන්න නිම්මි විසුවියස් වෙලා.
කොහොමටත් ලොකුවට තියෙන නිම්මිගේ ඇස් බෝල, ගිනිබෝල වගෙයි.
එව්වායේ ගිනිසැරට ජයතිලකලා පසුබෑවා.
එත් එක්කම රත්නදාස සර් පංතිය පටන් ගන්න ස්ටාෆ් රූම් එකේ ඉදන් එනවා දැකපු නිසා
ගිනිකදු නිවාන පංතියට ගි⁣යේ සාන්ත දාන්ත මී රංචුවක් .
...................................................

මුණසිංහ ටිච කෘෂිකර්මය පිරියඩ් එකට බද්ධ කරන්න අඹ තවානට එක්ක ගියා.
තවාන තිව්නේ ලැබ් එක ගාව.
බොරළු පිරුණ පාත්ති වල හදපු මෑ පැල
කරන්ගෑටි වෙලා
ලැබ් එක ගාව තිව්න ටැංකිය කොළම කොළ පාටයි.
ඇල්ගී
එතන පඩි කිහිපයක් එක්ක හදා තිව්න ටැංකිය  පාවිච්චියට ගත්තේ නෑ.

තුසිතගේ සහායිකාව නිම්මි .
තුසිත නිම්මි අල්ලාන උන් අඹ අත්තේ අනුජයක් කැපුවා.
සාප් බ්ලේඩ් එ⁣ක වැරදි පාරක ගියා.
නිම්මිගේ චුටි ඇගිල්ල යාන්තං කැපුණා.

"ආහ් අනේහ්"
නිම්මි අඹ අත්ත ඇරියා.

කෝ....
තුසිත ඉක්මනින් නිම්මිගේ සුළගිල්ල කටේ දාගෙන ඉරැවා...

"අපොයි,
මෝඩයෝ අර අනිත් එවුං දැක්කොත් විසුමක් නෑ.."
ඒත් නිම්මි ඇගිල්ල කටෙන් ඇද ගත්තේ නෑ.

තුසිතට පස්සේ කල්පනා උනේ,
නිම්මිගේ ඇඟිල්ල උරන්න
නිම්මිගේ කවුරුත්යැ
තුසිත දෙන්නා එක පංතියේ උනාට
එහෙමත් ගැණු ළමෙක්ගේ ඇගිල්ලක් උරන්න බෑ නේ
නිම්මිගේ ඇස් බාගේට වැහි ගිහින් තියෙන්නේ ඇයි?
ක්ලාන්තේ දාන්නද?

"දැන් හොදයි නේද?"

නිදිකුම්බා කොළ ටිකක් හපලා කැපුම වහපු තුසිත ඇහැව්වා

"හරි යයි අනේ,
චුට්ටයි කැපිලා තියෙන්නේ "

"ඉතිං ඔයා බය වුණාද......"

ඇත්තටම තුසිතට ලේ බලන්න බෑ තමයි.
ක්ලාන්ත වෙනවා.
අද එහෙම වුනේ නැති වුණත් බයටමයි ඇගිල්ල
කටේ දාගෙන ඉරුවේ

"ඇයි ඔයා එහෙම කරේ"

කෝ.......
තුසිතට උත්තර නෑ.
ඇත්තටම තුසිත එහෙම කරේ ඇයි.
තුසිතටත් හිතා ගන්න බෑ.

"ඔයා මට ආදරෙයිද??"

"ආ.... ම්......
නෑ.....හ්....."

තුසිතට පුළුවනේ ඔව් වුණත් එහෙම කියන්න.
පිරියඩ් එක ඉවර කරන බෙල් එක වාගේම බෙල් එකක් තුසිතගේ පපුවේ නාද වුණා

එතනින් පස්සේ කම්මැලි කමට ඉස්කෝලේ වැඩ කෙරුනේ.
නිම්මි තුසිත දිහා බැලුවත් තුසිත බැලුවොත් අහක බලා ගත්තා .
නිම්මි තරහ වෙලා.තුසිත හිතුවා
සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තුසිත ගියා තුසිතගේ අම්මාගේ ගමට
අනුරාධපුරයේ .
නිම්මි කදා⁣න ඉස්කෝලේට උසස් පෙළ කරන්න .

......................................................................
ඒ පාඨමාලාවේ ප්‍රසන්ටේෂන් එකේ දී ඇහුණ හඩ තුසිතට හොදටම හුරුයි.
ඔව් මේ නම් එයාම තමයි.
ඉක්මනින් වට්ස්අප් ගෘපය පිරික්සා
දුරකතන අංකය හොයා ගත්තා

හලෝ....ව්
ඔය නිම්මි.....ද

"ඔව් මෝඩයෝ......."
*************************************

Monday, March 1, 2021

වයලා

 *** වයලා**


අඹ ගහේ එල්ලී උන් බස් රීම් එකට,
රේල් ඇනේකින්
රංජී අය්යා තලාගෙන තලාගෙන ගියා...



ටං ටං ටං සද්දෙ පාවරවැව ඉස්කෝලෙන් එලියට පැනලා තිස්ඹබේත් පහුකරාන
නීකිනියාව වැව්බන්ටෙකටම ගියා.
මග දෙපස සිරි අසිරිය බල බලා
ඉස්කෝලේ එන්න ගාටපු කොළු කෙල්ලො
තමන්ගේ ගමන ඉක්මන් කරේ,
ඊලග සද්දෙට කලින් නොගියොත් කළුබංඩා මහත්තයාගේ ගිනිසැර ඇස්බැල්මට මුලිච්චි වෙන හින්දයි.


"මොකද උඹ.......
පස්සට ඉර වැටෙනකන් බුදියා ගත්තේ"

අහද්දී
එක දවසක් සෝමයාගේ දෙපැරැන්දෙන්
ගඟක් ගලන්න ගත්තා.


පාවරවැව ඉස්කෝලේ තිබ්බේ නීකිනියාව වැවට උඩින්.
වැවයි ඉස්කෝලේයි මැද්දේ තිස්ඹබේ වෙල.
වෙල අද්දර පුරාන විහාරය.
පන්සලට ඉස්කෝලේ පෙනවා.
ගම් මණ්ඩියේ ඉදන් එන කොළු කෙල්ලෝ ඉස්කෝලේට එන්නේ වැව් බන්ටෙක දිගේ.
පාවරවැව ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා ,
කළුබංඩා .......
ගං පලාත නම් ගම්පහ පැත්තේ ,
දැන් ඉස්කෝලේ ගුරු නිවාසේ තමන්ගේ නිවාසේ කරගෙන සුමනාවතී ඉස්කෝලේ හාමිනේයි, කෙල්ලෝ තුන් දෙනයිදෙක්කම ඉන්නේ .
ගරා වැටි තිබ්බ පාවරවැව ඉස්කෝලේට
හඳ පැයුවා වාගේ එළියක් ආවේ,
කළුබංඩා මහත්තයා ආවට පස්සේ ,
ගංගොඩේ කරක් ගහලා,
ඉස්කෝලේට නොඑන කොළු කෙල්ලියන්ගේ අප්පලා මොලාට හොද පදෙන් කියපු හින්දා දැන් ගංකරේ ඉස්කෝලේට නේන කොළු කෙල්ලෝ නැති ගානයි.
ඉස්කෝලේ වත්තේ වැට ගැහැව්වේ
ගමේ⁣ම කාණ්ඩේ එක්කාසු කරාන,
ඒ වැට තහනමත් එක්ක,
ඉබාගතේ කකා යමින් ,
ඉස්කෝලේ වත්තටත් ආපු හරක් රෑනට වෙන අතක් බලා ගන්ට උනා.
ලොකු මහත්තයාගේ නෝනට ලොකු ඉස්කෝලේ හාමිනේ කිව්වට උන්දැ ඉස්කෝලේ උගන්වන්නේ නෑ........

ලොකු මහත්තයාට උන්නේ කෙල්ලෝම තුන්දෙනෙක්..........
වයලා බඩ පිස්සී
හයේ පංතියට පාස් වුනේ මේ අවුරුද්දේ .......
සුමනාවතී හාමිනේ ගුරු නිවහනේ ඉදිරිපිට මැස්සක
සමන් පිච්ච වැලක් ඉන්දා තිබ්බා.
කොයිතරම් පැයිල්ලක උනත්
සමන්පිච්ච වැලට ඉස්මුරිතෙ හැදෙන්න
වතුර වක්කොරනවා.
වැතිනම් වක්කොරොනවා,
ලොකු ඉස්කෝලේ මහත්තයා
ලොකු ඉස්කෝලේ ඇත්තන්ටනේ
සැප සාත්තු නොඅඩුව ලැබුණු  හින්දා සමන්පිච්ච වැල සාරේට දළු ලාඑන්න වැඩි කලක් ගියේ නෑ.
ඕන් පහුණු දවසක කාගේ කාගේ හිනා මල් වත මත්තේ පිපුණේ,
වැල අග්ගිස්සේ කෝඩුකාර සමන්පිච්ච කැකුළු දැකලා..

වයලා ලං කරගෙන ලොකු හාමිනේ කටුකු⁣ටු ගැවා.
වයලා තම අප්පච්චිගෙන් ලැබුණු තරු කරාබු කුට්ටම හුරතල් කරා

"දැන් ඉතිං උඹ ඉස්සර වාගේ ගස් බඩගානවා නෙවෙයි,
ඔය වස්තර ඇතුල පරෙස්සම් කර ගනින්,
දළදා කරඩුව වාගේ.....

පංසලේ මල් වට්ටිය වාගේ ඇවිත් උන්නු නෑ බබලතීයන්ගේ දැනමුතුකම් වලට කන් දෙන්න වයලා මාරු වුණා.
එදා රෑ දෙසොයුරියන් මැද්දැවේ වයලා නින්දට ගියේ කන් දෙකම පිරෙන්නැහේ ලැබුණු දැනමුතු කන්දරාව එක්ක.
එව්වට වැඩිය වයලාගේ හිත ගත්තේ නම්
සයිබෝඩ් එක උඩයි ඇතුලෙයි බ්‍රවුන් පේපර් වැසුම් ඇතුලේ තිබ්බ ප්‍රසාදයි.

ඉස්කෝලේ විද්‍යාව උගන්වන්නේ නාමරත්න මහත්තයා ,
නාමරත්න මහත්තයා එන්නේ බියුක් බයිසිකල් එක්කින්,
අල්ලාපු ගමේ ඉදන්..
කන ගාව සයිඩ් බන්ස් උඩු රවුලත් එක්ක කට දෙපැත්තෙන් එකතු වෙලා තිබ්බා....
නාමරත්න මහත්තයා ඇන්දේ බැල්බොටම්.
නාමරත්න මහත්තයා පංතියට ආවේ පංතියම මහ සැර සුවදකින් පුරවාන.
උගන්වද්දී ඔය සුවද වැඩිපුරම
හමා ගියේ ගෑණු ළමයින් ඉන්න පැත්තේ .

එකපාරටම වයලාගේ කන ගාව කරකුණු හීතල හුල පාරට ,
වයලාගේ පටි සෙරෙප්පු යට ඉදන්ම හීතල වුණා.

"මොකැයි මේ නාමරත්න මහත්තයාට වෙලා තියෙන්නේ ,
කනට පුගන්නේ....."
වයලා හැරි බලද්දී ඇස් පුංචි කර හිනාවක් දාපු නාමරත්න මහත්තයා වම් පැත්තේ උන්නු කුසුමලතා ගාවට මාරු වුණා.
ඇස් යට්න් බලාපුවාම නාමරත්න සර්
කුසුමලතාගේ කිහිල්ලට අනිනවා පෙනුනට
කුසුමලතා ගැස්සුනේ නෑ.

සිකුරාදා  නාමලේඛන පොත් ගන්න ස්ටාප් කාමරේට වයලා විතරයි ගියේ,
පංති නායිකාවන්ට ඉස්කෝලේ තනියම යන්න අවසර තිබ්බා ,
අනෙක වයලා ලොකු මහත්තයාගේ පොඩි දුවනේ.....

නාමරත්න මහත්තයා උනුවතුර බෝතලේකින් තේ වතුර,
කෝප්පයකට වක්කරමින් හිටියේ,

"අප්පේ අපේ ලොකු මහත්තයාගේ චුටි මැණිකගේ හැඩ,
මං මේ බලාන හිටියේ අර ජංගී කොට ඇදගෙන දුවපි ඇට්ටිබි කෙල්ල හැඩවෙච්චි හැඩවිල්ල..........
මට දැනුත් එහෙම බලන්න ආසයි කෙල්ලේ..."

වයලාගේ කන් ඇතුලට මේ රිංගපු වචන හෝ ගා දෝංකාර දෙන්න ගත්තා.
වයලා තොල් වලට දිව ගෙනිච්චේ
එව්වා හරි ඉක්මනට වේලි ගිය හින්දා .

"මෙහේ එනවකෝ ටිකක්,"

ස්ටාප් කාමරේ සන්ලයිට් මේසේ උඩින් ආපු හිනි අතකින් වයලාගේ අත කිටි කිටියේ අල්ල ගත්තා ,
අනෙක් අත පංතිනායිකා පදක්කම සාවියේ හක්කලන් කරන්න පටන් ගත්තා

වයලාගේ කනට එදා අම්මා, නැන්දා, පුංචිලා කියපු වචන පෙරහැරේ එන්න පටන් ගත්තේ ,
හිත ඇතුලේ දඩ බඩ ගාලා ගැහුන බෙර තාලේට,

නිදහස් අතෙන් උනුවතුර බෝතලේ අරන්
තපස්  ගාලා උනු තේ වලින්,
නාමරත්න මහත්තයාව නැව්වේ
වයලා⁣ නෙමෙයි,
අම්මා, නැන්දා පුංචිලා......

"අම්මේහ් ......."
පිලිස්සුම් හඩකින් නාමරත්න මහත්තයා වයලාව අතඇරියා....
වයලා කිරිල්ලියක් වුණා.
ඒත් වැහැව්වේ පංතියේ නෙමෙයි.
ගුරු නිවාසේ දෙපියන් දොර දඩාස් ගා ඇරගෙන
හති හලමින් ⁣රිංගපු වයලා දැකපු
ඉස්කෝලේ හාමිනේගේ ඇස් උඩ ගියා.
මොකෝ යකෝ
මේ මහසෝනා දැක්කා වගේ මේ උදේ....

"ආ...ම්....හ්..
නෑ.....
අම්මේ......
මං මේ භුගෝලේ පොත ගෙනිහින් නෑ..."

"වලාමේ කට කැඩෙනක කියනවා නේද?
රාත්තිරියේ ඔය අඩුම කුඩුම සුජානං කරගන්ටෙයි කියලා...."

කුස්සියට රිංගා ගත් වයලා,
පොල් කටු දෙකක්ම කොත ගහලා ගත්තු වතුර වලින් බඩේ ගින්න නිවා ගත්තා,
ඒ වෙද්දී හිතේ ගින්දර යංත නිමෙන්න පටන් අරන්,

"වයලෝ, වයලෝ
අන්න අර කාන්ඩේ දුවන්නේ මොකදැයි බලාපං......."

කළු බංඩා මහත්තයා පෙරටු කරගත්
ගුරු මණ්ඩලයේ මහත්තුරු ටිකයි
වයලාගේ අක්කලාගේ පංතියේ අය්යලා ටිකයි රෑනට
පාර පැත්තට දුවනවා.

..........................
නාමරත්න මහත්තයා ,
උදේ තේ බොන්ඩ යද්දී කැරකිල්ලක් අල්ලලා වැටිලා,
ඇගපත පුරාම තේ.....
ඉතිං මං ගෙදර ගිහින් රෙදි මාරු කරගෙන
එන්ඩ යැව්වා.....
මඟදි කබරයා
අර තනියා
ඒකා මේ දවස්වල ගං මණ්ඩියට ඇවිල්ලාලු.......
මහ නුගේ ගාවදී නාමරත්න මහත්තයාගේ කට උඩ.......
කරුමේ තමයි.......
බයිසිකලේ කුඩු පට්ටම්

වයලාගේ ඇස් වලට කඳුලක් ආවට ඒ දුකකට නෙමෙයි.
පපුව පිරෙන්න හුස්මක් ගත්තු වයලා
අත්ගොබේ පිරි මැද්දා......
...............නිමි.....................